I made this widget at MyFlashFetish.com.

Tuesday, August 2, 2011

මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ?

ලිපි මාලා අංක 23ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ අරගන්න හැටි ගැන ලියන්න වුනත්, මේ මෑතකදි අපේ පාඨකයෙක්ගෙ ප්‍රතිචාරයකින් අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුණා ඊට කලින් අද මේ ලියන්න යන දේ ගැන ලිව්වොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ eBay වෙතින් අපි මිලදී ගන්නා භාණ්ඩ වැරදිලාවත් අප වෙත නොලැබෙයි සහ අපි order කරන භාණ්ඩයට වඩා වෙනස් භාණ්ඩයක් අප වෙත ලැබෙයි කියන බිය නිසා තාමත් eBay ‍ගණුදෙනු පටන් ගන්න පසුබට වෙන අයත් ගොඩදෙනෙක් ඉන්නවා. ඉතිං ඔක්කොටම කලින් මේ බොරු බිය නැති කරන්න ඕන නිසයි අද මේ පිළිබඳව ලියන්න හිතුවෙ. 

කුප්පිය පටන් ගන්න කලින් තව සුභ ආරංචි ටිකකුත් තියෙනවා කියන්න. අපේ මේ eBay ලිපි පෙළ මුල ඉඳලම කියවලා eBay වෙතින් ගණුදෙනු කිරීම ආරම්භ කරපු ගොඩදෙනෙක්ට දැන් එයාලා මිලදී ගත්ත භාණ්ඩ ගෙදරටම ඇවිල්ලා. ඒ පිළිබඳ ගොඩ දෙනෙක් අපේ පහුගිය ලිපි වලට ප්‍රතිචාර එක් කිරීමෙන් වගේම fb හරහා සහ email එවීමෙනුත් මාව දැනුවත් කරලා වගේම ස්තූති කරලා තිබුනා.  ඉතිං තමන් කාලෙකට ඉහතදි ප්‍රයෝජනයක් ගත්තු දෙයක් ගැන ඒ ප්‍රයෝජනේ ලැබුණයින් පස්සෙ ඇවිත් කියලා යන්න වගේම ස්තූති කරලා යන්න තරං කෘතඥ වුනු ඒ සියලුම දෙනාට මං මේ වෙලාවෙ ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ ලිපි පෙළෙන් කවුරුම හරි කෙනෙක් ප්‍රයෝජනයක් ලබනවනම් මටත් ගොඩක් සතුටුයි. ඉතිං තමන් මිලදී ගත්තු භාණ්ඩයක් තමන්ගෙ ගෙදරටම ආවම ඔයාලට දැනුණු සතුට මාත් එක්කත් බෙදාගත්ත එත ගැන ආයෙමත් සැරයක් ඒ අයට ස්තූතියි. 

තව පුංචි කණගාටුදායක දෙයකුත් තියෙනවා කියන්න. පසුගිය දවසක ප්‍රසිද්ධ ලාංකීය ෆෝරමයක eBay සම්බන්ධව මං ලියපු පළමු ලිපි 2 ම එහෙම්පිටින්ම පිටපත් කරලා පළ කරලා තිබුණා කව්රු හෝ කෙනෙක්. මගේ බ්ලොග් සටහනට සබැඳියක් (link එකක්) තියා ඒ ගැන කිසිම සඳහනක්වත් නොමැතිව හරියට තමන් ලියපු ලිපියක් වගේ තමයි ඒ ලිපි 2 පළ කරලා තිබුනේ. අනුන්ගෙ ලිපි වලින් ලකුණු දාගන්න හදන ඒ වගේ අය ගැන නම් මට හරිම කණගාටුයි.  කොහොමනමුත් ඒ ත්‍රෙඩයට ලැබී තිබුණු ප්‍රතිචාර වලින් බොහෝමයක් දෙනා කියලා තිබුණා මේක මගේ බ්ලොගයෙන් පිටපත් කළ එකක් බවත් එසේ කිරීම නොහොබිනා බවත්. ඉතිං ඒ ගැන නම් මට පුංචි සතුටක් දැනුනා බහුතරය සත්‍යය දන්න එක ගැන. ඒ වගේම එම ත්‍රෙඩය සම්බන්ධව නිසි ආකාරව දැනුම් දීමෙන් පසු ඒ ත්‍රෙඩය විගස මකා දැමීමට කාරුණික වුනු එම ෆෝරමයේ Admin වරයාටත් මේ අවස්‍ථාවෙ මං ස්තූතිවන්න වෙනවා. මමත් ඒ ෆෝරමයට ඉඳහිට ගොඩවෙන කෙනෙක් නිසා මං තීරණය කළා මිංපස්සෙ මං ලියන ලිපි ගැන මංම ඒ ෆෝරමය තුල දැනුම් දීමක් කරනවා කියලා. එතකොට මෙවැනි සිදුවීම් ඉබේම වැළකේවි. 

අද කුප්පිය පටන් ගන්න කලින් මට කලින් කුප්පි වලදි කියන්න අතපසු වුනු දේවල් 2 ක් තියෙනවා ඔයාලා කලබල වෙන්න ඉඩ තියෙන. ඉතිං ඒ නිසා දැන්ම ඒ ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.


  1. ඔබ ඔබේ සම්පත් Webcard එක PayPal වෙත සාර්ථකව link කළාට පසුත්, ඔබේ PayPal ගිණුමෙ ශේෂය පෙන්වන්නෙ USD 0.00 ලෙසයි. මේ ගැන කලබල වෙන්න එපා. ලංකාවෙ කාඩ්පත් PayPal වෙත link කළත් එම කාඩ්පත් වල ඇති ශේෂය දැනගන්න PayPal ට හැකියාවක් නෑ. ඒ නිසයි ඔහොම පෙන්වන්නෙ. නමුත් ඔබේ කාඩ්පතේ මුදල් තිබෙනවනම් එම මුදලට සරිලන ලෙස ඔබට PayPal වෙතින් ඕනෙම ගෙවීමක් කරන්න පුළුවන්. එතනදි PayPal කරන්නෙ ඔබේ කාඩ්පතෙන් මුදල් හර කරගෙන ඍජුවම ඔබ මුදල් ගෙවන්නාගෙ ගිණුමට ඒ මුදල් බැර කිරීම. එම නිසා PayPal හි දැක්වෙන ශේෂය හැම විටම දිස්වන්නෙ USD 0.00 ලෙසයි.
  2. අපි ebay වෙතින් භාණ්ඩයක් මිල දී අරං PayPal වෙතින් ඒ සඳහා ගෙවීම කළාට පසුව අපේ email ගිණුමට ලැබෙන එම ගණුදෙනුවෙ ලදුපතේ (receipt එකේ) අපේ Shipping Adress එක තියෙන තැන බැලුවොත් ඔබට පෙනෙයි ඊට ඉදිරියෙන් Unconfirmed කියලා සටහන් වෙලා තියෙනවා. මේ පිළිබඳවත් කලබල වෙන්න එපා. අපි අපේ ලිපිනය PayPal වෙත confirm කළත් නොකළත්, ඔය සඳහන් වෙන ලිපිනයට ඔබේ භාණ්ඩ ලැබෙනවා. (USA වලින් පිට අපේ ලිපිනයන් PayPal වෙත confirm කිරීමේ හැකියාවක් මං දන්න තරමින්නං නෑ) ඒ නිසා ඔබේ ලිපිනය Unconfirmed ලෙස සටහන් වී තිබුණට ගැටළුවක් නෑ.


අද කුප්පිය

හ්ම්... දැන් එහෙනම් අද කුප්පිය පටන්ගමු. eBay වෙතින් මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ කියලා හොයලා බලන්න කලින්, අපි බලන්‍න එපැයි එහෙම දෙයක් වෙන්න ඉඩකඩ තියෙනවද කියලා. ඔව්, එහෙම වීමේ ඉතාම ඉතාම ඉතාම සුළු හැකියාවක් තියෙනවා.  ගොඩාක් කලාතුරකින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ප්‍රතිශතයක් ලෙස කිව්වොත් 1% ක පමණ හැකියාවක් තියෙනවා ඒ වගේ දෙයක් වෙන්න.

හැබැයි ඉතිං ඒ වගේ දෙයක් උනා කියලා අපිට පාඩුවක් වෙන්නෙ නෑ. ඒ කොහොමද? මේ වගේ දෙයක් වුනොත් අපිට පාඩුවත් සිදු නොවෙන්න eBay වෙතින් අපිට විකල්ප 2 ක් සපයනවා.

එකක් තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය මිලදී ගැනීම සඳහා අප වැය කළ මුළු මුදල (භාණ්ඩයේ මිල + ප්‍රවාහන ගාස්තුව) අපිට නැවත ගෙවීම. මේකට කියන්නෙ Refund කරනවා කියලා.
අනෙක තමයි මෙලෙස අපට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය වෙනුවට එවැනිම දෝෂ රහිත භාණ්ඩයක් නැවත වරක් අප වෙත එවීම. මේකට කියන්නෙ Replacement Item එකක් එවනවා කියලා.

මේ විකල්ප දෙකින් එකක් තෝරාගෙන අපිට සිදුවුනු පාඩුව මඟහරවාගැනීමට අපි යම් පියවර කීපයක් අනුගමනය කළ යුතුයි. එය කරන්නෙ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරමු.


eBay වෙතින් අප මිලදී ගන්නා භාණ්ඩයක් අප වෙත ලැබෙන්න කොපමණ කාලයක් ගතවෙනවද?
  • මෙය මීට පෙරත් අප සාකච්ඡා කළා. භාණ්ඩයක් අප වෙත ලැබෙන්න යන කාලය භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස්. Seller ඉන්න රට, අපිට භාණ්ඩය එවන තැපැල් සේවාව වගේ දේවල් මත එය රඳා පවතිනවා. කොහොම නමුත් බොහෝ භාණ්ඩ සතියක් දෙකක් ඇතුලත අප වෙත ලැබෙනවා.

භාණ්ඩයක් අප වෙත නොලැබුණු ලෙස අප සැලකිය යුත්තේ කොපමණ කාලයකට පසුද?
  • ඇතැම් භාණ්ඩ වල භාණ්ඩ විස්තරයේ (Item description එකේ) සඳහන් වෙනවා එම භාණ්ඩය එක් එක් රට වලට ලැබීමට ගතවන කාලය. එවැනි භාණ්ඩ නොලැබුණු ලෙස සැලකිය යුත්තේ ඒ සඳහන් කර ඇති කාලයට පසුයි. එලෙස සඳහනක් නොමැති භාණ්ඩ සාමාන්‍යයෙන් දින 21 සිට උපරිම ලෙස දින 28 ක් යන තුරුත් නොලැබුණහොත් එම භාණ්ඩය නොලැබුණු ලෙස අපට සලකන්න පුළුවන්.

භාණ්ඩයක් දෝෂ සහිත ලෙස අප සැලකිය යුත්තේ කොහොමද?
  • eBay හි ඇති සෑම භාණ්ඩයකටම අදාල භාණ්ඩ විස්තරයක් (Item description එකක්) ඔබට දැක බලාගන්න පුළුවන්. ඔබට ලැබුණු භාණ්ඩය එම විස්තරයේ සඳහන් වී තිබූ භාණ්ඩයට වඩා වෙනස් නම් හෝ, ඔබට ලැබුණු භාණ්ඩය නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් ඔබට එය දෝෂ සහිත භාණ්ඩයක් ලෙස සලකන්න පුළුවන්.

භාණ්ඩයක් අප වෙත නොලැබුණු බව හෝ ලැබුණු භාණ්ඩය දෝෂ සහිත බව තහවුරු කරගත් පසු අප කළ යුත්තේ කුමක්ද?
  • මෙවැනි අවස්ථාවක අප මුලින්ම කළ යුත්තේ මේ පිළිබඳ අදාළ භාණ්ඩයේ Seller ට දැනුම් දීම. මෙය කරන්නෙ මෙහෙමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිසෙන්න. ඉන්පසු එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Contact Seller යන්න තෝරන්න.
  • මෙලෙස තේරූ විට දිස්වන පිටුවෙන් නැවතත් Contact Seller යන්න තෝරන්න. එවිට ඔබට Seller වෙත eBay Message එකක් යැවිය හැකි තිරයක් දිස්වේවි. මෙහිදී ඔබට seller ට දැනුම් දිය යුතු දේ සඳහන් කර ඔහුට/ඇයට ඔබේ ගැටළුව දැනුම් දෙන්න පුළුවන්.

මේ පිළිබඳ Seller ව දැනුවත් කළ පසු සිදුවන්නේ කුමක්ද?
  • නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩයක් පිළිබඳව අප එ‍හි Seller ට දැනුම් දුන් පසු බොහෝ විට බොහෝ Sellers ලා ඒ භාණ්ඩය වෙනුවට Full refund එකක් හෝ Replacement item එකක් ලබාදෙන්න කැමති වෙනවා. මොකද එහිදී ඔවුන්ට සිදුවන සුළු පාඩුවට වඩා අප විසින් ඔවුන්ට Negative Feedback එකක් ලබාදුනහොත් ඔවුන්ට සිදුවන පාඩුව වඩා වැඩි නිසා.

දෝෂ සහිත භාණ්ඩයකට Refund එකක් ගැනීමට එම භාණ්ඩය නැවත Seller වෙත යැවිය යුතුද?
  • මෙය රඳාපවතින්නෙ Seller මතයි. අපි භාණ්ඩය දෝෂ සහිත බව Sellerට පැමිණිලි කළ පසු ඇතැම් Sellersලා අපෙන් ඉල්ලනවා Refund එකක් දීමට හෝ Replacement Item එකක් එවීමට නම්, දෝෂ සහිත භාණ්ඩය ඔවුන් වෙත නැවත එවන ලෙස. එලෙස ඉල්ලුවහොත් අපිට එම දෝෂසහිත භාණ්ඩය නැවත එම Sellerගේ ලිපිනයට තැපෑලෙන් යැවීමට සිදුවෙනවා. (නමුත් කලබල වෙන්න එපා. දෝෂ සහිත භාණ්ඩයක් අප වෙත ලැබීමේ ඉඩකඩ ඉතාම අඩුයි. එහෙම ලැබුණත් දෝෂ සහිත භාණ්ඩය නැවත එවන ලෙස ඉල්ලන්නෙ ඉතාම සුළු Sellersලා පිරිසක් විතරයි.)

මේ පිළිබඳව Seller ව දැනුවත් කළ පසු Seller ගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නම් මොකද කරන්‍නෙ?
  • භාණ්ඩ නොලැබීම පිළිබඳව හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබීම පිළිබඳව අදාළ Seller ව දැනුවත් කළත් සමහර Sellers ලා ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගන්නෙ නෑ. මෙලෙස වුනොත් අපිට මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්න පුළුවන්.

මේ පිළිබඳව eBay අඩවියට පැමිණිලි කරන්නෙ කොහොමද?
  • මෙය කරන්නෙත් ඉහතදී Seller ව දැනුවත් කළ ආකාරයටමයි. ඔබේ eBay ගිණුමට ප්‍රවිෂ්ට වී එහි My eBay තුළ (1) Won කියන ලැයිස්තුවට පිවිස කලින් විස්තර කල පරිදිම එම ලැයිස්තුවේ ඇති ඔබට නොලැබුණු හෝ දෝෂ සහිතව ලැබුණු භාණ්ඩය සොයාගෙන ඊට ඉදිරියෙන් ඇති (2) More Actions යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් (3) Resolve a problem යන්න තෝරන්න.
  • මෙලෙස තේරූ විට ඔබට දිස්වෙයි මෙන්න මෙවැනි ගැටළු කීපයක්. එයින් ඔබට අදාළ ගැටළුව තෝරා ගන්න.


  • අදාළ ගැටළුව තේරූ විට ඊළඟට දිස්වන පිටුවෙන් ඔබෙන් අහයි ඔබ මේ පිළිබඳව Seller ව දැනුවත් කළාද යන වග. අපි දැනටමත් Seller ව දැනුවත් කර ඇති නිසා එයට 'Yes' ලෙස පිළිතුරු දෙන්න. එවිට ඔබ වෙත දිස්වෙයි Online Case එකක් ඇරඹිය හැකි පහත දැක්වෙන පිටුව. එහි ඇති 'Open a case online' තේරීමෙන් ඔබට Online Case එකක් open කර අදාළ තොරතුරු ලබා දී දින කීපයක් ඇතුලත ඔබේ ගැටළුව විසඳා ගන්න පුළුවන්.


Online Case එකක් කියන්නෙ මොකක්ද?
  • හිතන්න අපේ සාමාන්‍ය වෙළඳපොළ ගැන. අපි වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ‍ගෙන ඒ භාණ්ඩය දෝෂ සහිත නම් අපි එය මුලින්ම අරං යන්නෙ ගත්ත වෙළෙන්ඳා ලඟටනෙ. ඒ වෙළෙන්ඳා ඒ දෝෂ සහිත භාණ්ඩය බාරගෙන ඒ වෙනුවට වෙන භාණ්ඩයක් දුන්නෙ නැත්තම් හෝ ඒ භාණ්ඩයේ මිල අපිට නැවත ගෙව්වෙ නැත්තම් අපි මොකද කරන්නෙ? අපිට ඒ පිළිබඳව නීති මගින් කටයුතු කරන්න වෙනවා. ඕනෙ නම් අපිට ඒ ගැන නඩු කියන්න උනත් පුළුවන්. ඒ වුනත් සාමාන්‍ය වෙළඳ පොළේ සිදුවන ඒ වගේ අලාභ පියවගන්න අපි නඩුදාන්න ගියෙ නැතත් eBay ගණුදෙනුවකදි අපිට සිදුවන අලාභයක් පියවගන්න නම් අපිට ලේසියෙන්ම නඩුවක් දාලා ලේසියෙන්ම ඒ අලාභය පියවගන්න පුළුවන්. ඔන්න ඔහොම eBay තුළ අපට වුනු අලාභයක් පියවගන්න අපි අන්තර්ජාලය හරහා දාන නඩුවකට තමයි Online case එකක් කියන්නෙ.
  • මෙතනදි පැමිණිලිකරු වෙන්නෙ අපි (Buyer). වගඋත්තරකරු වෙන්නෙ Seller. eBay අඩවිය තමයි විනිශ්චයකරු ලෙස ක්‍රියා කරන්නෙ. ඉහත කියලා දීපු විදියට Online Case එකක් open කළාම eBay අඩවිය උත්සාහ කරනවා Seller ලවා අපට සිදුවුනු පාඩුව පියවලා දෙන්න. ඒත් eBay අඩවියටත් නොහැකි වුනොත් මේ පිළිබඳ Seller ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාගන්න, එතකොට මොකද දන්නවද වෙන්නෙ? අන්න එතකොට මේ නඩුවෙ විනිශ්චයකරු වන eBay අඩවිය ඉදිරිපත් වෙනවා අපිට සිදුවුනු අලාභය පියවන්න. (සැබෑ ජීවිතෙත් විනිශ්යකාරවරු ඔය විදියට පැමිණිලිකරුවන්ගෙ අලාභ පියවන්න ගියොත් මරුනේ...? හික්ස්! ) එහිදී ඔබේ නඩුව අවසානයෙදී කෙලෙස හෝ ඔබේ අලාභය පියවෙන ආකාරයේ තීන්දුවක් ඔබට ලැබෙනවා.

eBay Buyer Protection කියන්නෙ මොකක්ද?
  • ඔබ eBay අඩවියට යන එන විට නිතර දකින්න ඇති eBay Buyer Protection කියලා හැම තැනම දිස්වෙනවා. ඔන්න ඔය eBay Buyer Protection එකෙන් තමයි අර කිව්ව දේ වෙන්නෙ. භාණ්ඩ මිලදී ගැනීමේ ගැටළුවකට අදාළ භාණ්ඩයේ Seller විසඳුමක් ලබා නොදුනහොත් ඒ සඳහා eBay අඩවිය මැදිහත් වී විසඳුමක් ලබා දීම තමයි මෙහිදී සිදුවෙන්නෙ.
  • බොහෝ විට මෙහිදී අවසානයේ Buyer ට එනම් අපිට Full Refund එකක් ලැබෙනවා. නමුත් මේ refund එක ලැබෙන්නෙ මුදල් හැටියට නෙමෙයි. කූපනයක් (Coupon එකක්) හැටියට. හිතන්න ඔබට $13 ක භාණ්ඩයකින් අලාභයක් සිදුවෙනවා කියලා. එවිට ඔබට eBay Buyer Protection වෙතින් පහත දැක්වෙන ආකාරයේ $13 ක Coupon එකක් ලැබෙනවා. එවිට ඔබ ඊළඟට මිලදී ගන්නා භාණ්ඩයක් සඳහා ගෙවීම් කිරීමට ඔබට මෙම කූපනයේ ඇති Redemption Code යන කේතය යොදාගන්න පුළුවන්.


eBay ගණුදෙනු වලින් අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්ද?
  • අපිට අලාභයක් සිදුවෙන්න පුළුවන්. නමුත් අපිට ඒ අලාභ පියවාගැනීමටත් පුළුවන්. ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන ඔබ දැනුවත් නම් ඔබට කිසිදිනෙත eBay ගණුදෙනු වලින් අලාභයක් සිදු වෙන්නෙ නෑ. eBay ගණුදෙනු වලින් සිදුවුනු අලාභ ගැන ඔබට යම් කෙනෙක් කිව්වොත් එකත් එකටම ඒ අලාභ පියවාගන්නා ආකාරය ගැන නොදන්නා කෙනෙක්. ඉතිං දැන් ඔබ අලාභ පියවාගන්නා ආකාරය ගැන හොඳින් දැනුවත් නිසා ඔබට බය නැතුව eBay ගණුදෙනු කරගෙන යන්න පුළුවන්.


හ්ම්... ඔන්න අදට කුප්පිය නිමා කරන්නයි යන්නෙ. මං හිතන්නෙ අද කුප්පියෙන් ඔයාලා හැමෝන්ටම වැදගත් වෙන කරුණු ගනණාවක් ගැන කතාබහ උනා. සාරාංශයක් වශයෙන් කියන්න තියෙන්නෙ, eBay වෙතින් අපි කරන ගණුදෙනු වලින් අපිට මොනම ආකාරයේවත් පාඩුවක් සිදුවෙන්නෙ නෑ. (අත්දුටුවයි.. සහතිකයි..) අපට සිදුවන පාඩු පියවීමට eBay අඩවිය සැමවිටම සැදී පැහැදී ඉන්නවා. ඉතිං හැමෝම බය නැතුව eBay සමඟ ගණුදෙනු කරන්න. බය වෙවී හිටියොත් ඔබට කවදාවත් eBay වෙතින් ගණුදෙනු කිරීමේ වාසි අත්විඳින්න ලැබෙන එකක් නෑ. ඒ වගේම මේ දේවල් ගැන ඔබේ අත්දැකීමෙන්ම දැනුම ලබාගන්න. ගැටළු මතුවුනොත් අහන්න පසුබට වෙන්න එපා.

මේ ලිපි පෙළ මෙතෙක් දුර ලියාගෙන ආවෙ මෙතෙක් ලියූ හැම ලිපියකටම ඔයාලා හැමෝම ලබාදුන් නොමසුරු ප්‍රතිචාර නිසා. ඉතිං මෙතෙක් කල් ඒ සෑම ලිපියකට ප්‍රතිචාර එක් කළ හැමෝටම මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ ලිපි පෙළෙන් ඔයාලා හැමෝම වැඩි වැඩියෙන් ප්‍රයෝජනයක් ලබනවනම් මට ගොඩක් සතුටුයි.  ඉතිං ඔබේ eBay ගණුදෙනු හා සම්බන්ධ අත්දැකීම් හැමෝගෙම ප්‍රයෝජනය සඳහා අප හා බෙදා ගන්නා ලෙසත් පුංචි ඇරයුමක් කරන්න කැමතියි.


2 comments:

  1. mama me dakkamay ebay gana liyala thiyana lipiwalin megana liyala thiyana lipiyak.me kiyala dipu deta godak sthutiy.digatama me wage lipi liyanna.

    ReplyDelete
  2. me post ekama danikage situvili blogs eke dala tiyenawa oya eyagen copy kalada netam eya oyagen copy kalada and mdanda hi.... hi.... hi....

    ReplyDelete