I made this widget at MyFlashFetish.com.

Tuesday, August 2, 2011

eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු!

ලිපි මාලා අංක 22ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද eBay කුප්පි මාලාවෙ 4 වෙනි ලිපිය ලියන්නයි යන්නෙ. 1, 2, 3 ලිපි ඉතා කෙටි කාලයක් තුළ ලියලා 4 වෙනි ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි කියලා ගොඩ දෙනෙක් හිතනවා ඇති. ඒකටත් පිළිතුරක් දීලම ඉන්නම්කො. 


ප්‍රධානම කාරණේ තමයි මේ හතරවෙනි ලිපිය 123 ලිපි වගේ හදිස්සියෙ ලියන්න අවශ්‍යයි කියලා මට හිතුන්නෑ. ඒ මොකද අපේ ජීවිතේ අපි දැනුම ලබාගන්න විධි 2ක් තියෙනවනෙ. එකක් තමයි දැනට පවතින දැනුම් ප්‍රභවයන්ගෙන් දැනුම ලබාගැනීම. අනෙක තමයි තමන් විසින්ම අත්හදා බලලා අත්දැකීම් තුළින් දැනුම ලබාගැනීම. ඔය කියන දෙවිධියෙන් eBay කියන්නෙ මොකද්ද?සම්පත් webcard කියන්නෙ මොකද්ද, ඒක ලබාගන්නෙ කොහොමද? සහ Paypal වෙතට එම webcard පත link කරන්නෙ කොහොමද? කියන කාරණා මම දැක්කෙ පළවෙනි ගණයට වැටෙන දේවල් විධියට. මොකද මුදල් සම්බන්ධ දෑ වලදි අත්දැකීමෙන් දැනුම ලබාගන්න ගිහිං අමාරුවෙ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී. (හැබැයි ඉතිං මං මේවා ඉගෙනගත්තෙ නම් 2 වෙනි විදියට තමයි) නමුත් අද මං මේ කියන්න යන eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් තෝරාගැනීම කියන දේ මම දැක්කෙ තමන්ම අත්හදා බලලා අත්දැකීමෙන් ඉගෙනගන්න ඕන දෙයක් විදියට. ඉතිං එහෙම තමන්ටම අත්හදා බලලා ඉගෙනගන්න යම් කාලයක් දෙන්න ඕන නිසා තමයි ඕනෑවටම මේ ලිපිය ටිකක් ප්‍රමාද කළේ. ඊට අමතරව ඉතිං මට ටිකක් වැඩ වැඩි වීමත් ප්‍රමාදයට හේතුවක් උනා කියලත් අවංකව කියන්න ඕනෙ. 

අද ලිපිය පටන් ගන්න කලින් කරන්න පුංචි ස්තූතිකිරීම් ටිකකුත් තියෙනවා. පසුගිය Techකතා 52 වෙනි වැඩසටහනෙදි eBay සහ PayPal සම්බන්ධව අසා තිබූ පැණයකට පිළිතුරු ලෙස මගේ eBay ලිපි මාලාව පිළිබඳ සඳහනක් කළ සහ Techකතා අඩවියෙ තුළ මගේ eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 යන ලිපියට සබැඳියක් (link එකක්) පළ කල Techකතා වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායමට මගේ අවංක ස්තූතියි හිමි වෙනවා. ඒ වගේම cPlus නම් තොරතුරු තාක්ෂණ සඟාරාවෙ මගේ ඉහත ලිපියම මුද්‍රිත ලිපියක් ලෙස පළ කිරීම ගැන එම සඟරාවෙ ප්‍රධාන කර්තෘ දසුන් සමීර සොයුරාටත් මගේ ස්තූතියි හිමි වෙනවා. ඒ වගේම මෙම ලිපි මාලාවෙ කලින් ලිපි 3 සඳහාම විශාල ලෙස ප්‍රතිචාර එක් කළ පාඨක ඔබ සියළු දෙනාටත් ප්‍රතිචාර තුළදී ඔබ අසා තිබූ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මා හා හවුල් උනු lohitha යන සොයුරාටත් මගේ ස්තූතිය එලෙසින්ම හිමි වෙනවා.

හ්ම්......! සර් කෙනෙක් පංතියකට ආවත් මුලින්ම පාඩම පටන් ගන්නෑනෙ... මුලින් ඔය අනං මනං ටිකක් දොඩවනවනෙ... ඔන්න ඉතිං මගෙත් අනං මනං දෙඩවිල්ල ඉවරයි.  දැන් අපි කුප්පිය පටන් ගමු.

සම්පත් webcard පතක් අරගෙන PayPal වෙත link කරලා, දැනටම වැඩේ පටන් අරං තියෙන අය මේ වන විටත් අත්දැකීමෙන්ම ඉගෙනගෙන ඇති අද කතාකරන්න යන දේවල් බොහෝමයක්. නමුත් ලිපි මාලාවෙ සම්පූර්ණත්වය සඳහා පිළිවෙළින් එකේ ඉඳං කියන්නම්. ඒ අතර ඔබ නොදන්නා දෑත් ඇති. ඒ නිසා ලිපිය මුළුමනින්ම කියවන්න.


eBay තුළ ඔබට අවශ්‍ය කරන භාණ්ඩයක් අඩු මිලට පහසුවෙන් ඉක්මණින් සොයාගන්නෙ කොහොමද?
  • eBay තුළ අපිට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීම සඳහා අපේ අභිමතය පරිදි සෙවිය හැකි සෙවුම් විදි බොහෝමයක් තිබෙනවා. මේ සෙවුම් විදි යොදාගෙන අපිට අවශ්‍ය නියම භාණ්ඩය අඩුම මිලට පහසුවෙන් සොයාගන්න පුළුවන්. දැන් අපි මේ සෙවුම් විදි එකින් එක ‍සලකා බලමු.

ප්‍රධාන සෙවුම් තීරුව

  • ඔබට අවශ්‍ය භාණ්ඩයෙ නම ටයිප් කරන්න ඕනෙ මෙතන. අවශ්‍ය නම් Category එකක් තෝරන්න පුළුවන්. නැත්නම් All Categories යන්න තියෙන්නට හරින්න. Advanced search තුළින් සෙවුම වඩාත් විශේෂණය කරගන්නත් පුළුවන්.

All items, Auctions only සහ Buy it Now only යන ටැබ
  • Buy it Now only - මෙම ටැබය තේරූ විට ඔබට දිස්වන්නෙ මේ මොහොතේම ඔබට, දක්වා ඇති මුදලටම මිලදී ගත හැකි භාණ්ඩ පමණයි.
  • Auctions only - මං මුල්ම ලිපියෙ සඳහන් කළානෙ eBay කියන්නෙ හරියට සයිබර් පොළක් වගේ කියලා. ඉතිං සාමාන්‍ය පොළකින් ඔබට කෙළින්ම ගොස් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වගේම වෙන්දේසියට තබා ඇති භාණ්ඩ වලට ලංසු තබා දිනීමෙනුත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්නෙ. ඉතිං මේ eBay සයිබර් පොළෙත් ඔය වගේ වෙන්දේසි කරන භාණ්ඩ තිබෙනවා. මේ Auctions only ටැබය තේරූ විට ඔබට දිස් වන්නෙ මේ වෙන්දේසියට තබා ඇති භාණ්ඩ පමණයි. ඔය භාණ්ඩ වල සඳහන් වෙන මිලට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලා රැවටෙන්න එපා. ඒ භාණ්ඩ වල සඳහන් වෙන්නෙ ඒ මොහොතෙ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුව. නමුත් ඒ භාණ්ඩ විකිණෙන්නෙ බොහෝ විට ඒ මිලට නෙමෙයි, වෙන්දේසි කිරීම අවසාන වන මොහොතේ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුවටයි. 
  • All items - මෙම ටැබට තේරූ විට Buy it Now only යටතේ ඇති භාණ්ඩ හා Auctions only යටතේ ඇති භාණ්ඩ යන භාණ්ඩ සියල්ලම දිස් වෙනවා. හැබැයි ඒ දිස් වෙන දෑ අතරින් Auctions සහ Buy it Now only භාණ්ඩ පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. Buy it Now only භාණ්ඩයක් නම් මිල ඉදිරියෙන් Buy it Now ලෙසද Auctions යටතේ ඇති භාණ්ඩයන් නම් 0 Bids, 1 Bid, 2 Bids, 3 Bids.... වැනි Bids ගණනක් මිලට ඉදිරියෙන් දිස් වෙනවා.

[Auctions (වෙන්දේසි) ගැන සහ ඒවාට ලංසු තැබීම (bid කිරීම) ගැන මං වෙනම ලිපියක් ලියන්නම්. මොකද ඒ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. එතෙක් ඔබ සැම විටම භාණ්ඩයක් තේරීමෙදි Buy it Now only කියන ටැබය තෝරා සෙවීම කරන්න.]


සෙවීම් පෙළ ගසන (sort කරන) ආකාරය
  • eBay තුළ අපි සිදුකරන සෙවීමකට සාමාන්‍යයෙන් ප්‍රතිඵල දහස් ගණනින් ලැබෙනවා. ඉතිං ඔය ලැබෙන ප්‍රතිඵල වලින් අපට අවශ්‍ය භාණ්ඩය සොයාගැනීම පහසුකිරීමට eBay මගින් අපට අපේ අභිමය පරිදි ප්‍රතිඵල පෙළ ගැසිය හැකි විදි (customized sorting methods) කීපයක් සපයනවා.

මෙම ප්‍රතිඵල පෙළ ගසන ආකාර වලින් අපිට ප්‍රයෝජනවත් ආකාර විස්තර සහිතව හඳුන්වා දෙන්නම්.
  • Price + Shipping: lowest first - අපි eBay වෙතින් භාණ්ඩයක් මිලදී ගත්තම බොහෝ විට අපිට භාණ්ඩයේ වටිනාකමට අමතරව shipping (ප්‍රවාහනය) සඳහා යම් මුදලක් අයවෙනවා. ඉතිං අපිට භාණ්ඩයේ මිලෙහි සහ මෙම ප්‍රවාහන ගාස්තුව යන දෙකේම එකතුව ලෙස භාණ්ඩය සඳහා ගෙවිය යුතු මිලට අනුව සෙවුම් ප්‍රතිඵල පෙළ ගසා ගත හැකි නම් බොහොම අගෙයි නේද? මෙම පෙළ ගැසුම් ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන්නෙ අන්න ඒ ආකාරයට. ඒ කියන්නෙ භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල අඩුම භාණ්ඩයේ සිට වැඩිම භාණ්ඩයට පෙළ ගැසීම තමයි මෙමගින් සිදුවෙන්නෙ. අඩුම මිලට භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපිට ප්‍රයෝජනවත්ම සහ වැඩියෙන්ම අවශ්‍ය වන පෙළ ගැසුම් ආකාරය (sorting method එක) මෙයයි.
  • Time: ending soonest - මෙය අපිට ප්‍රයෝනවත් වෙන්නෙ වෙන්දේසි කිරීම් වලට ලංසු තැබීමෙදි. වෙන්දේසී අවසාන වෙන වේලාව ලඟම භාණ්ඩ මුලින්ම දිස්වෙන පරිදි තමයි මෙමගින් පෙළගසන්නෙ. වෙන්දේසි කිරීම් ගැන පසුව මං ලිපියක් ලියන්නම් කිව්වනෙ. ඒ ලිපියෙදි මේ පෙළ ගැසුම් ආකාරය ගැන වැඩි විස්තර කියන්නම්.

    අපිට එතරම් ප්‍රයෝජනයක් නැති ආකාර ගැන ඔබේ දැනගැනීම සඳහා පමණක් කෙටි විස්තර මෙන්න
    • Time: newly listed - අලු‍තෙන්ම eBay පොළට එක් කෙරුණු භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Price + Shipping: highest first - භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Price: highest first - භාණ්ඩයේ වටිනාකම වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Distance first: අපේ රටේ සිට භාණ්ඩයේ විකුණුම්කරුගේ රටට ඇති දුර අඩුම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Best Match - ඔබේ සෙවුමකට හරියටම ගැල‍පිය හැකි භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි. (ඇතම්විට ප්‍රයෝජනවත්)
    • Category - කාණ්ඩය අනුව භාණ්ඩ පෙළ ගසයි.

    මේ සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන ආකාර අතරින් ඔබට අඩුම මිලට භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් පෙළ ගැසිය යුත්තෙ මොන ආකාරයටද කියලා වැටහෙන්න ඇතිනෙ. ඒ තමයි Price + Shipping: lowest first කියන ආකාරය. ඉතිං ඔබ සෙවීමක් කර ලැබෙන ප්‍රතිඵල මේ ආකාරයට පෙළ ගස්වා ගන්න (sort කරගන්න) අමතක කරන්න එපා. (ඔය ආකාරය තේරූ විට ඔබෙන් අහයි ඔබේ රට. එයට Sri Lanka (LKA) යන්න ලබා දෙන්න.)


    Refine Search සහ Preferences යටතේ ඇති සෙවුම් ප්‍රතිඵල විශේෂණය කළ හැකි ආකාර

    ඔබට පෙනෙයි ඔබ සෙවුමක් කළ විට ඔබේ වම් පසින් දිස්වන මෙන්න මේ සෙවුම් විශේෂණ ආකාර ගණනාවකින් යුත් තීරුව. මෙම තීරුවේ ඇති උපක්‍රම භාවිතා කර ඔබට ඔබේ සෙවුම තව දුරටත් විශේෂණය කරගන්න පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියන ගණනක් වූ භාණ්ඩ අතරින් ඔබ සොයන භාණ්ඩය ඉක්මණින් සොයාගැනීම ඔබට පහසු වේවි. මෙම තීරුවේ ඇති සෙවුම් විශේෂණ උපක්‍රම කීපයක් මෙලෙස ඔබට හඳුන්වා දෙන්නම්.

    Categories - ඔබ සොයන්නේ කුමන කාණ්ඩයක් යටතේ වර්ගීකරණය කළ හැකි භාණ්ඩයක් ද යන්න තේරීය හැක.

    Brand - ඔබ සොයන්නේ කුමන ජාතියක (brand එකක) භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

    Condition - ඔබ සොයන්නෙ අලුත්ම භාණ්ඩයක්ද, පාවිච්චි කළ භාණ්ඩයක්ද යන්න තේරිය හැක.

    Price - ඔබ සොයන්නේ කිනම් මිල පරාසයක භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

    Buying formats - ඔබ සොයන්නෙ වෙන්දේසියට ඇති භාණ්ඩයක්ද, දැන්ම මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න මෙතනින්ද තේරිය හැක.

    Show only - ඔබට දිස්විය යුත්තේ කුමන භාණ්ඩ පමණක්ද යන්න තේරිය හැක. උදා: ප්‍රවාහනය නොමිලේ භාණ්ඩ, විකිණී අවසන් වුනු භාණ්ඩ වැනි...

    Location - ඔබ තෝරන්නේ කුමන ස්ථානයක සිට මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න තේරිය හැක. (සමහර භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ යම් යම් රටවල් ඇතුලත පමණයි. මෙම විශේෂණ ආකාරය Worldwide යන්න තේරීමෙන් ලොව පුරා ප්‍රවාහනය කරන භාණ්ඩ පමණක් දිස්කරවා ගන්න පුළුවන්.)


    සෙවුම් ප්‍රතිඵල ලෙස දිස්වන අනවශ්‍ය සහ කරදරකාරී ප්‍රතිඵල ඉවත් කරගන්නේ කෙසේද?
    • අපි ගොඩක් වෙලාවට සෙවීම පෙළ ගසන්නෙ Price + Shipping: lowest first කියන ආකාරයටනෙ. ඔය ආකාරයට සෙවුම් ප්‍රතිඵල පෙළ ගැසුවූ විට බොහෝවිට අපිට පෙළ ගැසුමෙ ඉහළින්ම දක්නට ලැබෙන්නෙ අප අපේක්ෂා කළ භාණ්ඩය නෙමෙයි.

    උදා: සිතන්න ඔබට අවශ්‍යයි eBay වෙතින් Portable hard disk එකක් මිලදී ගන්න. දැන් ඔබ ප්‍රධාන සෙවුම් තීරුව තුල Portable hard disk කියලා ටයිප් කරලා Search යන්න ඔබනවා. ඉන්පසු ඊට අදාල ප්‍රතිඵල ලැයිස්තුව ලැබුණු පසු ඔබ Buy it Now only කියන ටැබයට ගිහිල්ලා Price + Shipping: lowest first කියන විදියට ප්‍රතිඵල ලැයිස්තුව පෙළ ගසනවා. දැන් බලන්න ඔබට දිස්වෙන්නෙ මොනවද කියලා.
    • Portable PU Leather Case/Bag for 2.5" Hard Disk Drive B
    • Portable Leather Case/Bag for SATA 2.5" Hard Disk Drive
    • Portable SATA 2.5" HDD Hard Disk Drive Soft Case Cover
    • Portable SATA Box Case 3.5" HDD Hard Disk Drive Safety
    • Portable SATA 3.5" HDD Hard Disk Drive Storage Tank Box
    • Leatherette Case for 2.5" Portable Hard Disk HDD White
    • PISEN Portable Deluxe Hard Drive Disk Case Holder Bag B
    • Leatherette Case for 2.5" Portable Hard Disk HDD Brown
    • EXTERNAL PORTABLE 2.5" DRIVE HARD DISK CASE CARRY BAG
    • Small Sleeve Case Bag for 2.5" Portable Hard Drive Disk

    ‍මෙන්න මේ වගේ ප්‍රතිඵල ගණනාවක් ඔබට මුලින්ම දිස් වේවි. හැබැයි මේ එකක්වත් portable hard disks නෙමෙයි. එතකොට ඇයි මෙහෙම වෙන්නෙ? ඔබ සෙවුම කළේ "Portable hard disk" කියලා. බලන්න ඔය නම් වල හැම එකේම මේ වචන තුන තියෙනවා නේද? අනික ඇත්තටම ඔය සෙවුම සිදුකරලා බලන්න ඔය ප්‍රතිඵල වල මිල ගණන්. Portable hard disk එකක මිලට වඩා සෑහෙන්න අඩුයි. අන්න ඒ හේතු දෙක නිසයි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබට සොයා ගත නොහැකි උනේ.

    මෙන්න මේ වගේ භාණ්ඩයක් සොයාගන්න නම් අපිට තව දෙයක් කරන්න වෙනවා. ඒ තමයි අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් මෙවන් අපි අපේක්ෂා නොකරන කරදරකාරී ප්‍රතිඵල ඉවත් කර ගැනීම. මේ සඳහා කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයයි. ඒ තමයි ප්‍රධාන සෙවුම් තීරුවෙ සොයන භාණ්ඩයෙ නමත් සමග මෙවැනි කරදරකාරී භාණ්ඩ වල නමුත් "-" ලකුණක් සහිතව යොදන්න. (මෙය ගූග්ල් සෙවුමකදි උනත් භාවිතා කළ හැකි සාමාන්‍ය සෙවුම්කරණ උපායක්...)

    • අපේ උදාහරණෙ හැටියට මෙන්න මෙහෙම: Portable hard disk -case

    ඔහොම යොදලා සෙවුම කළ විට ඔබට පෙනෙයි කලින් දිස්වුනු කරදරකාරී භාණ්ඩ ගොන්න ප්‍රතිඵල ලැයිස්තුවේ නොමැති බව. නමුත් දැන් ලැබී ඇති ප්‍රතිඵල ලැයිස්තුවෙ වෙනත් කරදරකාර ප්‍රතිඵල තිබෙන්න පුළුවන්. ඒ සෑම දෙයකම සෙවුම් පද (key word) ඉහත පරිදිම "-" ලකුණ සහිතව යොදා සෙවුම කරන්න.

    • මේ විදියට: portable hard disk -case -box -battery -bracket

    අන්න ඒ විදියට කරදරකාරී භාණ්ඩ සියල්ලම අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් ඉවත් කළාට පසුව ඔබට දිස්වේවි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබේ ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම දිස්වෙනවා. දැන් ඔබට පුළුවන් ඒ දිස්වන ප්‍රතිඵල අතරින් ඔබට සරිලන මිලකට, සරිලන භාණ්ඩයක් මිලදී ගන්න.

    ~
    ඉතිං මං හිතනවා අද සාකාච්ඡා කෙරුණු කරුණු ටික හොඳටම ඇති කියලා.  මුලින් හිතාගෙන හිටියෙ අද ලිපියෙන් භාණ්ඩ තෝරන විදියයි, හොඳ seller කෙනෙක්ගෙන් භාණ්ඩ ගන්න විදියයි, PayPal හරහා ගෙවීම සිදුකරන විදියයි ඔක්කොම කියන්න. ඒත් එක දෙයක් ගැන කියන්න ගියාම කියන්න ගොඩක් දේවල් හිතට එනවා. ඒකයි ලිපිය දිග වැඩි වෙන්නෙ.  මං මුලදිම කිව්වත් වගේ අද කියපු සමහර දේවල් නම් ගොඩක් අය දැනටමත් අත්හදා බැලීම තුළින් ලබා ගත් අත්දැකීම තුළින් දැනගෙන ඉන්න ඇති. නමුත් මං මේ හැමදෙයක්ම පිළිවෙළට කියන්නෙ ලිපි පෙළටම අලුත් ආධුනිකයන්ගෙත් ප්‍රයෝජනය තකා.

    ඉතිං මේ ලිපියත් ඔබට ප්‍රයෝජනවත් උනා නම් ඒ ගැන කියලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රශ්න තියෙනවනම් ඕනම දෙයක් අහන්න. කලින් ලිපි වල අහපු හැම ප්‍රශ්නයකටම මං හිතන්නෙ මං මගේ දැනුමෙ හැටියට පිළිතුරු දුන්නා. (දන්නැත්නම් දන්නෑ කියලත් කිව්වා..)

    එහෙනම් ඔන්න අදට කුප්පිය ඉවරයි. ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඔබ තෝරාගත් භාණ්ඩයට PayPal හරහා මුදල්‍ ගෙවන ආකාරය සහ වෙන්දේසි (Auctions) සඳහා ලංසු තබා (bid කර) භාණ්ඩ දිනාගන්නා ආකාරය. ඒ ලිපිය ලියන කල් මඟ බලාගෙන ඉන්න. ඉක්මණටම ලියන්නම්


    1 comment: