I made this widget at MyFlashFetish.com.

Tuesday, August 2, 2011

eBay කියන්නෙ මොකක්ද?

ලිපි මාලා අංක 18                           


කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා.  ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර.




දැන් ටිකක් බය නැති උණාද?  මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර fake pen එකේ විතරයි. නමුත් ඒකටත් මට full refund එකක් ලබාගන්න පුළුවන් උනා. ඒ කියන්නෙ eBay එකෙන් ගණුදෙනු කළා කියලා මට අද වෙනකල් සත පහකවත් පාඩුවක් උනේ නෑ. ඔන්න දැන් හරිනෙ. දැන් බය නෑනෙ පොඩ්ඩක්වත්.  එහෙනම් කුප්පිය පටන්ගමු.

කලින් ලිපියෙ ප්‍රතිචාර වලදි කියලා තිබුණා හැම තරාතිරමකම අය බ්ලොග් කියවන හින්දා නොදන්නා අයටත් ගැළපෙන විදියට පියවරෙන් පියවර මේ ලිපි පෙළ ලියන්න කියලා. ඉතිං eBay ගැන මුකුත්ම නොදන්න අයට දැනගන්නත් එක්ක මුලින්ම අපි අද පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු.


eBay කියන්නෙ මොකක්ද?
  • eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
  • විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
  • eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
  • සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
  • ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
  • ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
  • eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.
PayPal කියන්නෙ මොකක්ද?
  • PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි.

සාරාංශයක් වශයෙන් eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා මොනවද?
  1. eBay ගිණුමක් තිබිය යුතුයි.
  2. PayPal ගිණුමක් ගිණුමක් තිබිය යුතුයි.
  3. අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. (කාඩ් එකේ සල්ලි තිබිය යුතුයි. )

අදට eBay කුප්පිය අවසානයි. දැනට ඔබ eBay සහ PayPal තුළ sign up වෙලා අලුත් ගිණුම් හදාගෙන පුංචි පුංචි අතහදාබැලීම් ටිකක් කරන්න. මෙතෙක් සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මීට අමතරව දැනගත යුතු තවත් මූලිකම දේවල් තියෙනවා නම් ඒවත් අහන්න. එතකොට මං ඒ ප්‍රශ්නත් ඇතුළු කරලා මේ ලිපිය යාවත්කාලීන කරන්නම්. ලිපිය ප්‍රයෝජනවත් උනානම් ඒ ගැන සටහනක් තබලා යන්නත් අමතක කරන්න එපා. 

ඉතිරිය කියවන්න >> ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 http://dhanikauom.blogspot.com/2010/02/ebay-paypal-ebay-1.html#more#ixzz1TtGOJGqr
Under Creative Commons License: Attribution Non-Commercial

No comments:

Post a Comment