I made this widget at MyFlashFetish.com.

Tuesday, August 2, 2011

ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග -

ලිපි මාලා අංක 20


පසුගිය ලිපියෙන් පටන් ගත්ත eBay කුප්පි මාලාවට ලැබෙන ප්‍රතිචාර ගැන නම් බොහොම සතුටුයි. ඒ ප්‍රතිචාර එකතු කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ ලිපියෙ ප්‍රතිචාර‍යකින් ලෝහිත කියලා අපේ සොයුරෙක් කියලා තිබ්බා ඔහු eBay වෙතින් ගෙන්වපු කිලෝ 4.5ක් පමණ බර mini air compressor එකකුත් කිසි අවුලක් නැතුව තැපැල් කාර්යාලයට ආවා කියලා. ඒ පිළිබඳ තැපැල් කාර්යාලයෙන් ඔහුව දැනුවත් කළාම ඔහු තැපැල් කාර්යාලයට ගිහින් ඒ භාණ්ඩය නිදහස් කරගෙන තියෙනවා විනාඩි 5ක් වගේ ඇතුලත. ඉතිං මේකත් අපි හැමෝන්ටම සුභ ආරංචියක් වේවි. මමත් ටිකක් දෙගිඩියාවෙන් හිටියෙ eBay එකෙන් ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ ගෙන්වන්න. ඒත් දැන් ඒ ගැනත් බයවෙන්න දෙයක් නෑ වගේ. අපිත් එක්ක ඔහුගෙ අත්දැකීම බෙදාගෙන අපිව දැනුවත් කරවපු ඒ සොයුරටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ. 

කලින් ලිපියෙදි අපි දැනගත්තනෙ eBay ගැන මූලික තොරතුරු ටිකක්. එදා අපි eBay කුප්පි #1 නැවැත්තුවෙ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්න යන දේ ගැන පුංචි ඉඟයකුත් දීලා. ඒ තමයි ජොබ්ඇති ජොබ්නැති අපි හැමෝටම ශ්‍රී ලංකාව තුළ ලේසියෙන්ම ලබාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ ගණුදෙනු කළ හැකි VISA කාඩ්පත වන සම්පත් Webcard ගැන තොරතුරු සහ එය PayPal වෙත link කිරීම පිළිබඳ තොරතුරු අරං එන්න පොරොන්දු වෙලා තමයි එදා කුප්පිය නැවැත්තුවෙ. ඉතිං ඔන්න අද ඒ පොරොන්දුව බොහෝ දුරට ඉෂ්ට කරන්නයි යන්නෙ.

මං එදා කිව්වනෙ අපිට eBay ගණුදෙනු කරන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා. eBay ගිණුමක්, PayPal ගිණුමක් සහ අන්තර්ජාලීය ගණුදෙනු කළ හැකි කාඩ්පතක්. ඉතිං මං හිතනවා දැන් හැමෝම eBay සහ PayPal ගිණුම් හදාගෙන ඇති කියලා. (ඒ සම්බන්ධව කුමක් හෝ ගැටළුවක් තියෙනවනම් අහන්න පසුබට වෙන්න එපා.) අද මං කියන්න හදන්නෙ අපිට අත්‍යවශ්‍ය තෙවෙනි කාරණය ගැන.
දන්නවනෙ අද හැම බැංකුවකම වගේ ATM කාඩ්පත් සේවය තියෙනවා. Credit card, Debit card වගේ එක එක විදියෙ සේවා සඳහා මෙම කාඩ්පත් භාවිතා වෙනවා. අන්තර්ජාතිකව ගණුදෙනු කළ හැකි Visa, Master Card සහ American Express යන ප්‍රවර්ග යටතටත් මේ කාඩ්පත් වර්ගීකරණය වෙනවා. මෙවැනි ඕනෑම කාඩ්පතකින් අන්තර්ජාතික ගණුදෙනු කිරීමේ හැකියාව තිබුණත් මේ හැම කාඩ්පතකින්ම අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේ හැකියාවක් නෑ. එම හැකියාව ඇත්තෙ මෙම කාඩ්පත් වලින් කීපයකට පමණයි.

අනිත් කාරණේ තමයි සාමාන්‍ය Credit හෝ Debit කාඩ්පතක් හෝ ලබාගන්න තමන්ගෙ ආදයම් වාර්තා බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතිං ඕක රැකියාවල නිරත වෙන අයට නම් ගැටළුවක් නොවුනට තවම රැකියා නොකරන අපි වගේ අයට නම් ලොකු ගැටළුවක්. මේ හැම ගැටළුවකටම එකම විසඳුම තමයි සම්පත් බැංකුව මගින් ලබාදෙන සම්පත් Webcard. 



මේ තියෙන්නෙ මගේ සම්පත් Webcard එක

මං හිතන්නෙ ගොඩක් අය මේ සම්පත් Webcard එක ගැන දන්නෙ නෑ. ඉතිං මේ ගැන මුකුත්ම නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි මුලින්ම මේ සම්පත් Webcard ගැන පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉමු. [මේවට තමයි කියන්නෙ නිති අසන පැණ (FAQ) කියලා. ]



සම්පත් Webcard කියන්නෙ මොකක්ද?
  • සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි.


        මෙය ලබාගන්න පුළුවන් කාටද?
        • අවු.18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික‍ පුරවැසියෙකුට මෙය ලබාගන්න පුළුවන්. (පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයත් නෑ.)

        කාඩ්පත ලබාගැනීමේදී එහි තිබෙන ආරම්භක ශේෂය කුමක්ද?
        • රු.2500, 5000, 7500 හෝ 10000 ක ආරම්භක ශේෂයන්ගෙන් යුතු කාඩ්පත් ලබාගන්න පුළුවන්.


         කාඩ්පත ලබාගැනීමට සම්පත් බැංකුවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍යද?
        • අත්‍යවශ්‍ය නෑ


        කාඩ්පත ලබාගැනීමේදී ගෙවිය යුතු ගාස්තු මොනවාද?
        • සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් රු.100ක් හෝ සම්පත් බැංකුවෙ ගිණුමක් නැත්නම් රු.200ක් වර්ෂ 2ක් සඳහා කාඩ්පත් ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවෙනවා.


        අඩුම මුදලකින් මෙය ලබාගැනීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද?
        • සම්පත් ගිණුම් හිමියෙක් නම් රු.2600 යි. (2500+100)
        • සම්පත් ගිණුම් හිමියෙක් නොවේ නම් රු.2700 යි. (2500+200)


        ශේෂය අඩුවෙන කොට කාඩ්පත top up කරන්නෙ කොහොමද?
        • ක්‍රම දෙකකින් පුළුවන්. ඔබට සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් ඒ ගිණුමේ සිට කාඩ්පතට මුදල් හුවමාරුවක් කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය මුදල් තැම්පතුවක් කිරීම මගින් top up කරගන්න පුළුවන්.

        Top up කළ හැකි අවම මුදල කොපමණද?
        • එහෙම අවුලක් නෑ. කැමති ගාණක් top up කරන්න පුළුවන්.

        මෙමගින් ගෙවීම් කළ හැක්කෙ eBay ගණුදෙනු සඳහා පමණද?
        • නෑ. මෙමගින් අන්තර්ජාලය තුළ ඕනෑම මුදල් ගණුදෙනුවක් කරන්න පුළුවන්. (හැබැයි සාමාන්‍ය credit/debit card පතකින් කරන ගණුදෙනු කරන්න බෑ.)


        කාඩ්පතින් ගණුදෙනු කළ පසු එහි ශේෂය දැනගන්නෙ කොහොමද?
        • 0112300604 යන අංකයෙන් Sampath Card Centre ඇමතීමෙන් ඕනෑම වෙලාවක ඔබට ශේෂය විමසා දැනගන්න පුළුවන්.

        කාඩ්පතට අයදුම් කරන්නෙ කොහොමද?
        • ඕනෑම සම්පත් බැංකු ශාකාවකට ගොස් සම්පත් Webcard සඳහා වන අයදුම් පත්‍රය පුරවා මුදල් සමඟ භාරදීමෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. (අයදුම් පත්‍රය මෙතැනින් බාගැනීමටද පුළුවන්)


        කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?
        • කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.

        වඩා පහසු කාඩ්පත පෞද්ගලික ලිපිනයට ගෙන්වා ගැනීමද? ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වා ගැනීමද?
        • ලඟම ඇති බැංකු ශාඛාවට ගෙන්වා ගැනීම පහසුයි. මොකද මේ කාඩ්පත සමඟ එන ලියවිල්ල අත්සන් කරලා නැවත අපි card centre එක වෙත යැවිය යුතුයි. කාඩ්පත සක්‍රීය කරන්නෙ එවිටයි. කාඩ්පත ගෙදරට ගෙන්වා ගත්තොත් එම ලියවිල්ල අත්සන් කරලා අපිටම නැවත තැපැල් කරන්න වෙනවා. නමුත් බැංකු ශාකාවට ගෙන්වා ගත්තොත් බැංකුව අපෙන් අත්සන අරගෙන එම ලියවිල්ල ඔවුන් විසින් card centre එක වෙත යවනවා. එය වඩා පහසුයි.


        Webcard එක ලැබුණු පසු එය PayPal ගිණුමට link කරන්නෙ කොහොමද?
        • >>(ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)


        අනේ තරහාවෙන්න එපා. අද ලිපිය හිතුවට වඩා දිග වැඩි උනා. Webcard එක PayPal එකට link කරන විදිය screen shots ටිකක් එකකම ටිකක් සවිස්තරාත්මකව කියන්න ඕනෙ. ඉතිං ඒක ඊළඟ ලිපියෙන්ම කියන්නම්. කොහොමත් දැන් webcard එකට apply කරාම ඕක එන්න අඩුමගානෙ සතියක්වත් යනවනෙ. ඊට කලින් මං link කරන විදිය ගැන ලිපිය පළ කරන්නම්. එහෙනම් ඔන්න සඳුදා උදෙන්ම ළඟම තියෙන සම්පත් බැංකුවට දුවලා ගිහින් Webcard form එකක් ඉල්ලගෙන පුරවලා සල්ලිත් එක්ක බාරදෙන්න. 

        එහෙනම් ඔන්න අදට eBay කුප්පිය අවසානයි. අද සාකච්ඡා කරපු දේවල් ගැන මුකුත් ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න. ලිපිය ප්‍රයෝජනවත් උනානම්......  දන්නවනෙ ඉතිං කරන්න ඕන දේ? 



        3 comments:

        1. me danikage post aka copy karala

          ReplyDelete
        2. Daramayata garu karanawalu me danuka aiyage lipiyane copy karala dala thiyenne :(

          ReplyDelete
        3. Me danika aiyyage post aekakne maru copy kirilla habai hodata saralawa hitala tiyanawa mokada itin tawa kenegge post aekak copy karala danna aeka saralaine

          ReplyDelete