I made this widget at MyFlashFetish.com.

Tuesday, August 2, 2011

eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු!

ලිපි මාලා අංක 22ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද eBay කුප්පි මාලාවෙ 4 වෙනි ලිපිය ලියන්නයි යන්නෙ. 1, 2, 3 ලිපි ඉතා කෙටි කාලයක් තුළ ලියලා 4 වෙනි ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි කියලා ගොඩ දෙනෙක් හිතනවා ඇති. ඒකටත් පිළිතුරක් දීලම ඉන්නම්කො. 


ප්‍රධානම කාරණේ තමයි මේ හතරවෙනි ලිපිය 123 ලිපි වගේ හදිස්සියෙ ලියන්න අවශ්‍යයි කියලා මට හිතුන්නෑ. ඒ මොකද අපේ ජීවිතේ අපි දැනුම ලබාගන්න විධි 2ක් තියෙනවනෙ. එකක් තමයි දැනට පවතින දැනුම් ප්‍රභවයන්ගෙන් දැනුම ලබාගැනීම. අනෙක තමයි තමන් විසින්ම අත්හදා බලලා අත්දැකීම් තුළින් දැනුම ලබාගැනීම. ඔය කියන දෙවිධියෙන් eBay කියන්නෙ මොකද්ද?සම්පත් webcard කියන්නෙ මොකද්ද, ඒක ලබාගන්නෙ කොහොමද? සහ Paypal වෙතට එම webcard පත link කරන්නෙ කොහොමද? කියන කාරණා මම දැක්කෙ පළවෙනි ගණයට වැටෙන දේවල් විධියට. මොකද මුදල් සම්බන්ධ දෑ වලදි අත්දැකීමෙන් දැනුම ලබාගන්න ගිහිං අමාරුවෙ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී. (හැබැයි ඉතිං මං මේවා ඉගෙනගත්තෙ නම් 2 වෙනි විදියට තමයි) නමුත් අද මං මේ කියන්න යන eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් තෝරාගැනීම කියන දේ මම දැක්කෙ තමන්ම අත්හදා බලලා අත්දැකීමෙන් ඉගෙනගන්න ඕන දෙයක් විදියට. ඉතිං එහෙම තමන්ටම අත්හදා බලලා ඉගෙනගන්න යම් කාලයක් දෙන්න ඕන නිසා තමයි ඕනෑවටම මේ ලිපිය ටිකක් ප්‍රමාද කළේ. ඊට අමතරව ඉතිං මට ටිකක් වැඩ වැඩි වීමත් ප්‍රමාදයට හේතුවක් උනා කියලත් අවංකව කියන්න ඕනෙ. 

අද ලිපිය පටන් ගන්න කලින් කරන්න පුංචි ස්තූතිකිරීම් ටිකකුත් තියෙනවා. පසුගිය Techකතා 52 වෙනි වැඩසටහනෙදි eBay සහ PayPal සම්බන්ධව අසා තිබූ පැණයකට පිළිතුරු ලෙස මගේ eBay ලිපි මාලාව පිළිබඳ සඳහනක් කළ සහ Techකතා අඩවියෙ තුළ මගේ eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 යන ලිපියට සබැඳියක් (link එකක්) පළ කල Techකතා වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායමට මගේ අවංක ස්තූතියි හිමි වෙනවා. ඒ වගේම cPlus නම් තොරතුරු තාක්ෂණ සඟාරාවෙ මගේ ඉහත ලිපියම මුද්‍රිත ලිපියක් ලෙස පළ කිරීම ගැන එම සඟරාවෙ ප්‍රධාන කර්තෘ දසුන් සමීර සොයුරාටත් මගේ ස්තූතියි හිමි වෙනවා. ඒ වගේම මෙම ලිපි මාලාවෙ කලින් ලිපි 3 සඳහාම විශාල ලෙස ප්‍රතිචාර එක් කළ පාඨක ඔබ සියළු දෙනාටත් ප්‍රතිචාර තුළදී ඔබ අසා තිබූ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මා හා හවුල් උනු lohitha යන සොයුරාටත් මගේ ස්තූතිය එලෙසින්ම හිමි වෙනවා.

හ්ම්......! සර් කෙනෙක් පංතියකට ආවත් මුලින්ම පාඩම පටන් ගන්නෑනෙ... මුලින් ඔය අනං මනං ටිකක් දොඩවනවනෙ... ඔන්න ඉතිං මගෙත් අනං මනං දෙඩවිල්ල ඉවරයි.  දැන් අපි කුප්පිය පටන් ගමු.

සම්පත් webcard පතක් අරගෙන PayPal වෙත link කරලා, දැනටම වැඩේ පටන් අරං තියෙන අය මේ වන විටත් අත්දැකීමෙන්ම ඉගෙනගෙන ඇති අද කතාකරන්න යන දේවල් බොහෝමයක්. නමුත් ලිපි මාලාවෙ සම්පූර්ණත්වය සඳහා පිළිවෙළින් එකේ ඉඳං කියන්නම්. ඒ අතර ඔබ නොදන්නා දෑත් ඇති. ඒ නිසා ලිපිය මුළුමනින්ම කියවන්න.


eBay තුළ ඔබට අවශ්‍ය කරන භාණ්ඩයක් අඩු මිලට පහසුවෙන් ඉක්මණින් සොයාගන්නෙ කොහොමද?
  • eBay තුළ අපිට අවශ්‍ය භාණ්ඩ සොයාගැනීම සඳහා අපේ අභිමතය පරිදි සෙවිය හැකි සෙවුම් විදි බොහෝමයක් තිබෙනවා. මේ සෙවුම් විදි යොදාගෙන අපිට අවශ්‍ය නියම භාණ්ඩය අඩුම මිලට පහසුවෙන් සොයාගන්න පුළුවන්. දැන් අපි මේ සෙවුම් විදි එකින් එක ‍සලකා බලමු.

ප්‍රධාන සෙවුම් තීරුව

  • ඔබට අවශ්‍ය භාණ්ඩයෙ නම ටයිප් කරන්න ඕනෙ මෙතන. අවශ්‍ය නම් Category එකක් තෝරන්න පුළුවන්. නැත්නම් All Categories යන්න තියෙන්නට හරින්න. Advanced search තුළින් සෙවුම වඩාත් විශේෂණය කරගන්නත් පුළුවන්.

All items, Auctions only සහ Buy it Now only යන ටැබ
  • Buy it Now only - මෙම ටැබය තේරූ විට ඔබට දිස්වන්නෙ මේ මොහොතේම ඔබට, දක්වා ඇති මුදලටම මිලදී ගත හැකි භාණ්ඩ පමණයි.
  • Auctions only - මං මුල්ම ලිපියෙ සඳහන් කළානෙ eBay කියන්නෙ හරියට සයිබර් පොළක් වගේ කියලා. ඉතිං සාමාන්‍ය පොළකින් ඔබට කෙළින්ම ගොස් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වගේම වෙන්දේසියට තබා ඇති භාණ්ඩ වලට ලංසු තබා දිනීමෙනුත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්නෙ. ඉතිං මේ eBay සයිබර් පොළෙත් ඔය වගේ වෙන්දේසි කරන භාණ්ඩ තිබෙනවා. මේ Auctions only ටැබය තේරූ විට ඔබට දිස් වන්නෙ මේ වෙන්දේසියට තබා ඇති භාණ්ඩ පමණයි. ඔය භාණ්ඩ වල සඳහන් වෙන මිලට ඒ භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කියලා රැවටෙන්න එපා. ඒ භාණ්ඩ වල සඳහන් වෙන්නෙ ඒ මොහොතෙ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුව. නමුත් ඒ භාණ්ඩ විකිණෙන්නෙ බොහෝ විට ඒ මිලට නෙමෙයි, වෙන්දේසි කිරීම අවසාන වන මොහොතේ ඒ භාණ්ඩය සඳහා තබා ඇති වැඩිම ලංසුවටයි. 
  • All items - මෙම ටැබට තේරූ විට Buy it Now only යටතේ ඇති භාණ්ඩ හා Auctions only යටතේ ඇති භාණ්ඩ යන භාණ්ඩ සියල්ලම දිස් වෙනවා. හැබැයි ඒ දිස් වෙන දෑ අතරින් Auctions සහ Buy it Now only භාණ්ඩ පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. Buy it Now only භාණ්ඩයක් නම් මිල ඉදිරියෙන් Buy it Now ලෙසද Auctions යටතේ ඇති භාණ්ඩයන් නම් 0 Bids, 1 Bid, 2 Bids, 3 Bids.... වැනි Bids ගණනක් මිලට ඉදිරියෙන් දිස් වෙනවා.

[Auctions (වෙන්දේසි) ගැන සහ ඒවාට ලංසු තැබීම (bid කිරීම) ගැන මං වෙනම ලිපියක් ලියන්නම්. මොකද ඒ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. එතෙක් ඔබ සැම විටම භාණ්ඩයක් තේරීමෙදි Buy it Now only කියන ටැබය තෝරා සෙවීම කරන්න.]


සෙවීම් පෙළ ගසන (sort කරන) ආකාරය
  • eBay තුළ අපි සිදුකරන සෙවීමකට සාමාන්‍යයෙන් ප්‍රතිඵල දහස් ගණනින් ලැබෙනවා. ඉතිං ඔය ලැබෙන ප්‍රතිඵල වලින් අපට අවශ්‍ය භාණ්ඩය සොයාගැනීම පහසුකිරීමට eBay මගින් අපට අපේ අභිමය පරිදි ප්‍රතිඵල පෙළ ගැසිය හැකි විදි (customized sorting methods) කීපයක් සපයනවා.

මෙම ප්‍රතිඵල පෙළ ගසන ආකාර වලින් අපිට ප්‍රයෝජනවත් ආකාර විස්තර සහිතව හඳුන්වා දෙන්නම්.
  • Price + Shipping: lowest first - අපි eBay වෙතින් භාණ්ඩයක් මිලදී ගත්තම බොහෝ විට අපිට භාණ්ඩයේ වටිනාකමට අමතරව shipping (ප්‍රවාහනය) සඳහා යම් මුදලක් අයවෙනවා. ඉතිං අපිට භාණ්ඩයේ මිලෙහි සහ මෙම ප්‍රවාහන ගාස්තුව යන දෙකේම එකතුව ලෙස භාණ්ඩය සඳහා ගෙවිය යුතු මිලට අනුව සෙවුම් ප්‍රතිඵල පෙළ ගසා ගත හැකි නම් බොහොම අගෙයි නේද? මෙම පෙළ ගැසුම් ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන්නෙ අන්න ඒ ආකාරයට. ඒ කියන්නෙ භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල අඩුම භාණ්ඩයේ සිට වැඩිම භාණ්ඩයට පෙළ ගැසීම තමයි මෙමගින් සිදුවෙන්නෙ. අඩුම මිලට භාණ්ඩ මිල දී ගැනීම සඳහා අපිට ප්‍රයෝජනවත්ම සහ වැඩියෙන්ම අවශ්‍ය වන පෙළ ගැසුම් ආකාරය (sorting method එක) මෙයයි.
  • Time: ending soonest - මෙය අපිට ප්‍රයෝනවත් වෙන්නෙ වෙන්දේසි කිරීම් වලට ලංසු තැබීමෙදි. වෙන්දේසී අවසාන වෙන වේලාව ලඟම භාණ්ඩ මුලින්ම දිස්වෙන පරිදි තමයි මෙමගින් පෙළගසන්නෙ. වෙන්දේසි කිරීම් ගැන පසුව මං ලිපියක් ලියන්නම් කිව්වනෙ. ඒ ලිපියෙදි මේ පෙළ ගැසුම් ආකාරය ගැන වැඩි විස්තර කියන්නම්.

    අපිට එතරම් ප්‍රයෝජනයක් නැති ආකාර ගැන ඔබේ දැනගැනීම සඳහා පමණක් කෙටි විස්තර මෙන්න
    • Time: newly listed - අලු‍තෙන්ම eBay පොළට එක් කෙරුණු භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Price + Shipping: highest first - භාණ්ඩය සඳහා ගෙවිය යුතු මුළු මුදල වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Price: highest first - භාණ්ඩයේ වටිනාකම වැඩිම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Distance first: අපේ රටේ සිට භාණ්ඩයේ විකුණුම්කරුගේ රටට ඇති දුර අඩුම භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි.
    • Best Match - ඔබේ සෙවුමකට හරියටම ගැල‍පිය හැකි භාණ්ඩ පළමුව දිස්වෙන පරිදි පෙළ ගසයි. (ඇතම්විට ප්‍රයෝජනවත්)
    • Category - කාණ්ඩය අනුව භාණ්ඩ පෙළ ගසයි.

    මේ සෙවුම් ප්‍රතිඵල පෙළ ගසන ආකාර අතරින් ඔබට අඩුම මිලට භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් පෙළ ගැසිය යුත්තෙ මොන ආකාරයටද කියලා වැටහෙන්න ඇතිනෙ. ඒ තමයි Price + Shipping: lowest first කියන ආකාරය. ඉතිං ඔබ සෙවීමක් කර ලැබෙන ප්‍රතිඵල මේ ආකාරයට පෙළ ගස්වා ගන්න (sort කරගන්න) අමතක කරන්න එපා. (ඔය ආකාරය තේරූ විට ඔබෙන් අහයි ඔබේ රට. එයට Sri Lanka (LKA) යන්න ලබා දෙන්න.)


    Refine Search සහ Preferences යටතේ ඇති සෙවුම් ප්‍රතිඵල විශේෂණය කළ හැකි ආකාර

    ඔබට පෙනෙයි ඔබ සෙවුමක් කළ විට ඔබේ වම් පසින් දිස්වන මෙන්න මේ සෙවුම් විශේෂණ ආකාර ගණනාවකින් යුත් තීරුව. මෙම තීරුවේ ඇති උපක්‍රම භාවිතා කර ඔබට ඔබේ සෙවුම තව දුරටත් විශේෂණය කරගන්න පුළුවන්. එවිට eBay තුළ ඇති මිලියන ගණනක් වූ භාණ්ඩ අතරින් ඔබ සොයන භාණ්ඩය ඉක්මණින් සොයාගැනීම ඔබට පහසු වේවි. මෙම තීරුවේ ඇති සෙවුම් විශේෂණ උපක්‍රම කීපයක් මෙලෙස ඔබට හඳුන්වා දෙන්නම්.

    Categories - ඔබ සොයන්නේ කුමන කාණ්ඩයක් යටතේ වර්ගීකරණය කළ හැකි භාණ්ඩයක් ද යන්න තේරීය හැක.

    Brand - ඔබ සොයන්නේ කුමන ජාතියක (brand එකක) භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

    Condition - ඔබ සොයන්නෙ අලුත්ම භාණ්ඩයක්ද, පාවිච්චි කළ භාණ්ඩයක්ද යන්න තේරිය හැක.

    Price - ඔබ සොයන්නේ කිනම් මිල පරාසයක භාණ්ඩයක් ද යන්න තේරිය හැක.

    Buying formats - ඔබ සොයන්නෙ වෙන්දේසියට ඇති භාණ්ඩයක්ද, දැන්ම මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න මෙතනින්ද තේරිය හැක.

    Show only - ඔබට දිස්විය යුත්තේ කුමන භාණ්ඩ පමණක්ද යන්න තේරිය හැක. උදා: ප්‍රවාහනය නොමිලේ භාණ්ඩ, විකිණී අවසන් වුනු භාණ්ඩ වැනි...

    Location - ඔබ තෝරන්නේ කුමන ස්ථානයක සිට මිලදී ගත හැකි භාණ්ඩයක්ද යන්න තේරිය හැක. (සමහර භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ යම් යම් රටවල් ඇතුලත පමණයි. මෙම විශේෂණ ආකාරය Worldwide යන්න තේරීමෙන් ලොව පුරා ප්‍රවාහනය කරන භාණ්ඩ පමණක් දිස්කරවා ගන්න පුළුවන්.)


    සෙවුම් ප්‍රතිඵල ලෙස දිස්වන අනවශ්‍ය සහ කරදරකාරී ප්‍රතිඵල ඉවත් කරගන්නේ කෙසේද?
    • අපි ගොඩක් වෙලාවට සෙවීම පෙළ ගසන්නෙ Price + Shipping: lowest first කියන ආකාරයටනෙ. ඔය ආකාරයට සෙවුම් ප්‍රතිඵල පෙළ ගැසුවූ විට බොහෝවිට අපිට පෙළ ගැසුමෙ ඉහළින්ම දක්නට ලැබෙන්නෙ අප අපේක්ෂා කළ භාණ්ඩය නෙමෙයි.

    උදා: සිතන්න ඔබට අවශ්‍යයි eBay වෙතින් Portable hard disk එකක් මිලදී ගන්න. දැන් ඔබ ප්‍රධාන සෙවුම් තීරුව තුල Portable hard disk කියලා ටයිප් කරලා Search යන්න ඔබනවා. ඉන්පසු ඊට අදාල ප්‍රතිඵල ලැයිස්තුව ලැබුණු පසු ඔබ Buy it Now only කියන ටැබයට ගිහිල්ලා Price + Shipping: lowest first කියන විදියට ප්‍රතිඵල ලැයිස්තුව පෙළ ගසනවා. දැන් බලන්න ඔබට දිස්වෙන්නෙ මොනවද කියලා.
    • Portable PU Leather Case/Bag for 2.5" Hard Disk Drive B
    • Portable Leather Case/Bag for SATA 2.5" Hard Disk Drive
    • Portable SATA 2.5" HDD Hard Disk Drive Soft Case Cover
    • Portable SATA Box Case 3.5" HDD Hard Disk Drive Safety
    • Portable SATA 3.5" HDD Hard Disk Drive Storage Tank Box
    • Leatherette Case for 2.5" Portable Hard Disk HDD White
    • PISEN Portable Deluxe Hard Drive Disk Case Holder Bag B
    • Leatherette Case for 2.5" Portable Hard Disk HDD Brown
    • EXTERNAL PORTABLE 2.5" DRIVE HARD DISK CASE CARRY BAG
    • Small Sleeve Case Bag for 2.5" Portable Hard Drive Disk

    ‍මෙන්න මේ වගේ ප්‍රතිඵල ගණනාවක් ඔබට මුලින්ම දිස් වේවි. හැබැයි මේ එකක්වත් portable hard disks නෙමෙයි. එතකොට ඇයි මෙහෙම වෙන්නෙ? ඔබ සෙවුම කළේ "Portable hard disk" කියලා. බලන්න ඔය නම් වල හැම එකේම මේ වචන තුන තියෙනවා නේද? අනික ඇත්තටම ඔය සෙවුම සිදුකරලා බලන්න ඔය ප්‍රතිඵල වල මිල ගණන්. Portable hard disk එකක මිලට වඩා සෑහෙන්න අඩුයි. අන්න ඒ හේතු දෙක නිසයි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබට සොයා ගත නොහැකි උනේ.

    මෙන්න මේ වගේ භාණ්ඩයක් සොයාගන්න නම් අපිට තව දෙයක් කරන්න වෙනවා. ඒ තමයි අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් මෙවන් අපි අපේක්ෂා නොකරන කරදරකාරී ප්‍රතිඵල ඉවත් කර ගැනීම. මේ සඳහා කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයයි. ඒ තමයි ප්‍රධාන සෙවුම් තීරුවෙ සොයන භාණ්ඩයෙ නමත් සමග මෙවැනි කරදරකාරී භාණ්ඩ වල නමුත් "-" ලකුණක් සහිතව යොදන්න. (මෙය ගූග්ල් සෙවුමකදි උනත් භාවිතා කළ හැකි සාමාන්‍ය සෙවුම්කරණ උපායක්...)

    • අපේ උදාහරණෙ හැටියට මෙන්න මෙහෙම: Portable hard disk -case

    ඔහොම යොදලා සෙවුම කළ විට ඔබට පෙනෙයි කලින් දිස්වුනු කරදරකාරී භාණ්ඩ ගොන්න ප්‍රතිඵල ලැයිස්තුවේ නොමැති බව. නමුත් දැන් ලැබී ඇති ප්‍රතිඵල ලැයිස්තුවෙ වෙනත් කරදරකාර ප්‍රතිඵල තිබෙන්න පුළුවන්. ඒ සෑම දෙයකම සෙවුම් පද (key word) ඉහත පරිදිම "-" ලකුණ සහිතව යොදා සෙවුම කරන්න.

    • මේ විදියට: portable hard disk -case -box -battery -bracket

    අන්න ඒ විදියට කරදරකාරී භාණ්ඩ සියල්ලම අපේ ප්‍රතිඵල ලැයිස්තුවෙන් ඉවත් කළාට පසුව ඔබට දිස්වේවි ඔබ අපේක්ෂා කළ භාණ්ඩය ඔබේ ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම දිස්වෙනවා. දැන් ඔබට පුළුවන් ඒ දිස්වන ප්‍රතිඵල අතරින් ඔබට සරිලන මිලකට, සරිලන භාණ්ඩයක් මිලදී ගන්න.

    ~
    ඉතිං මං හිතනවා අද සාකාච්ඡා කෙරුණු කරුණු ටික හොඳටම ඇති කියලා.  මුලින් හිතාගෙන හිටියෙ අද ලිපියෙන් භාණ්ඩ තෝරන විදියයි, හොඳ seller කෙනෙක්ගෙන් භාණ්ඩ ගන්න විදියයි, PayPal හරහා ගෙවීම සිදුකරන විදියයි ඔක්කොම කියන්න. ඒත් එක දෙයක් ගැන කියන්න ගියාම කියන්න ගොඩක් දේවල් හිතට එනවා. ඒකයි ලිපිය දිග වැඩි වෙන්නෙ.  මං මුලදිම කිව්වත් වගේ අද කියපු සමහර දේවල් නම් ගොඩක් අය දැනටමත් අත්හදා බැලීම තුළින් ලබා ගත් අත්දැකීම තුළින් දැනගෙන ඉන්න ඇති. නමුත් මං මේ හැමදෙයක්ම පිළිවෙළට කියන්නෙ ලිපි පෙළටම අලුත් ආධුනිකයන්ගෙත් ප්‍රයෝජනය තකා.

    ඉතිං මේ ලිපියත් ඔබට ප්‍රයෝජනවත් උනා නම් ඒ ගැන කියලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රශ්න තියෙනවනම් ඕනම දෙයක් අහන්න. කලින් ලිපි වල අහපු හැම ප්‍රශ්නයකටම මං හිතන්නෙ මං මගේ දැනුමෙ හැටියට පිළිතුරු දුන්නා. (දන්නැත්නම් දන්නෑ කියලත් කිව්වා..)

    එහෙනම් ඔන්න අදට කුප්පිය ඉවරයි. ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඔබ තෝරාගත් භාණ්ඩයට PayPal හරහා මුදල්‍ ගෙවන ආකාරය සහ වෙන්දේසි (Auctions) සඳහා ලංසු තබා (bid කර) භාණ්ඩ දිනාගන්නා ආකාරය. ඒ ලිපිය ලියන කල් මඟ බලාගෙන ඉන්න. ඉක්මණටම ලියන්නම්


    සම්පත් Webcard පත PayPal වෙත link & confirm කරන්නෙ කොහොමද?

                 ලිපිමාලා අංක 21 eBay කුප්පි #1 සහ eBay කුප්පි #2 හැමෝම කියවන්න ඇතිනෙ. පසුගිය ලිපියෙ eBay කුප්පි #2 න් අපි කතා කළේ ලංකාවෙ අපිට eBay තුළ සහ අන්තර්ජාලය තුල මුදල් ගණුදෙනු කළ හැකි පහසුම මග වන සම්පත් Webcard ගැනනෙ. ඒ ගැන හඳුන්වාදීමක් එක්කම සම්පත් Webcard එකකට අයදුම් කරන අයුරුත් එදා ලිපියෙන් අපි සාකච්ඡා කළා. ඉතිං දැන් Webcard එකට දැනටමත් අයදුම් කරපු අයට තව දින දෙක තුනකින් සම්පත් card center වෙතින් ඇමතුමක් එයි ඔබේ Webcard එක සූදානම්, එවන්න ඕනා ලඟම ඇති බැංකුවටද නැත්නම් ගෙදරටද කියලා. අර කලින් ලිපියෙ මං සඳහන් කළ හේතු නිසා ඔබ ලඟම ඇති ශාඛාවට ගෙන්වාගන්නවා නම් වඩා පහසුයි. 

    ඊට පස්සෙ ඔබේ Webcard එක ලඟම ඇති බැංකු ශාඛාවට එවීමෙන් පසුවත් බොහෝවිට card center මගින් ඔබව දැනුවත් කරාවි දැන් ඔබට කාඩ්පත ලඟම ඇති ශාඛාවෙන් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට ඉතිං කරන්න තියෙන්නෙ ඒ බැංකු ශාඛාවට ගිහිල්ලා කාඩ්පත ලබාගන්න එක.  කාඩ්පතත් සමඟ ඔබට ලබාදෙයි කාඩ්පතේ මුරපදය (password එක). ඔන්න ඕක තමයි හොඳටම පරිස්සම් කරගන්න ඕන එක. ඒත් එක්කම බැංකුව ඔබෙන් යම් ලියවිල්ලකට අත්සන් ගනීවි ඔබට කාඩ්පත සහ මුරපදය ලැබුණු බවට.

    හැබැයි කාඩ්පත සහ මුරපදය අතට ලැබුණු සැනින් ඔබට කාඩ්පත භාවිතා කරන්න බැහැ. කාඩ්පත සක්‍රීය (activate) කරන තුරු තවත් දිනක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා.  ඔබ කාඩ්පතේ තොරතුරු PayPal වෙත ලබාදුන් විට ඔබේ කාඩ්පත වලංගු කාඩ්පතක් නොවන බව PayPal පවසනවනම් ඒ කියන්නෙ ඔබේ කාඩ්පත තවමත් සක්‍රීය වෙලා නෑ. කාඩ්පත සක්‍රීය වෙලා නම් PayPal මගින් ඔබේ කාඩ්පත වලංගු කාඩ්පතක් ලෙස බාරගන්නවා. සම්පත් Card Center ඇමතීමෙනුත් ඔබට කාඩ්පත සක්‍රීය වෙලාද නැද්ද යන්න දැනගන්න පුළුවන්.

    දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ Webcard එක PayPal වෙත link කරන්නෙ කියලා.




    Webcard එක PayPal වෙත link කරන්නෙ කොහොමද?

    1. PayPal වෙත ගොස් ඔබේ ඉ-ලිපිනය සහ මුරපදය ලබා දී ඔබ සාදාගත්තු PayPal ගිණුමට ප්‍රවිශ්ට (log in) ‍වෙන්න.
    (තවමත් ඔබ PayPal ගිණුමක් සාදාගෙන නැත්නම් http://www.paypal.com වෙත ගොස් එහි ඉහළ කෙළවරේ ඇති Sign up යන්න තෝරා ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දී PayPal ගිණුමක් සාදාගන්න.)


    2. රූපයේ දක්වා ඇති පරිදි My Account --> Profile --> Add/Edit Credit Card තෝරන්න.



    3. එලෙස තේරූපසු ඔබට දිස්වෙන කවුළුවෙන් Add Card යන්න ඔබන්න.

    4. එවිට ඔබට දිස්වෙයි මෙන්න මේ වගේ form එකක්. මේ එකින් එකක් පුරවන්නෙ කොහොමද කියලා පහතින් දක්වලා ඇති.







    • First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි.
    • Last Name: මෙය ඔබට වෙනස් කළ නොහැකියි. PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් වාසගම මෙතන දිස්වෙයි.
    • Card Type: මෙතන ඇති තේරීම් තුනෙන් Visa යන්න තෝරන්න. (අපේ Webcard එක Visa කාඩ්පතක්.)
    • Card Number: මෙතනට ඔබ ලබා දිය යුත්තෙ ඔබේ Webcard එකේ ඉදිරිපස ඇති අංක 16කින් යුත් අංකය. ඉරිකෑලි හෝ හිස්තැන් නොතබා අංක 16ම යතුරු කරන්න.
    • Expiration Date: ඔබේ කාඩ්පත කල් ඉකුත් වන මාසය හා අවුරුද්දත් Webcard එකේ ඉදිරිපසම දිස්වෙනවා. (VALID THRU ලෙස) අන්න එම මාසය හා අවුරුද්ද මේ සඳහා ලබා දෙන්න.
    • Card Verification Number: මේ සඳහා ලබා දිය යුත්තේ Webcard එක සමඟ ඔබට ලැබුණු අංක හතරකින් යුත් මුරපදය (Password එක).
    ඔය රූපයේ දැක්වෙන දෑ වලට අමතරව එතනදි තව ඔබෙන් අහනවා Billing Address එක මොකක්ද කියලා. ඒ සඳහා ඔබට Use this address as billing address මගින් PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් ලිපිනය හෝ Enter a new address as billing address මගින් වෙනත් ලිපිනයක් හෝ ඇතුලත් කරන්න පුළුවන්.



    5. මේ තොරතුරු සියල්ල ඇතුලත් කිරීමෙන් පසු Add Card යන්න ඔබන්න.

    මෙලෙස එබූ පසු කිසියම් දෝෂ පණිවිඩයක් දිස් උනොත් එයින් හැඟවෙන්නෙ ඔබේ කාඩ්පත තවමත් සක්‍රීය වෙලා නෑ කියන එක. දෝෂ පණිවිඩයක් දිස් නොවෙනවා නම් ඔබේ කාඩ්පත දැනටමත් PayPal විසින් වලංගු කාඩ්පතක් ලෙස බාරගෙන හමාරයි. 

    හැබැයි ඉතිං කාඩ්පත PayPal වෙත add කළ පමණින් ඔබට කඩේපතෙන් ගණුදෙනු කරන්න බෑ.  ඊට කලින් ඔබ ඇතුලත් කළ කාඩ්පත ඔබේගේම බව තහවුරු කරන්න (confirm කරන්න) සිද්ධ වෙනවා.


    PayPal වෙත link කළ Webcard එක confirm කරන්නෙ කොහොමද?

    PayPal මගින් මේ කාර්යය සිදුකරන්නෙ සරළවම මෙන්න මෙහෙමයි. ඔවුන් අපි ඇතුලත් කළ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමකට $ 1.95 ක මුදලක් බැර කරගන්නවා. (මේ මුදල පසුව නැවත අපිට ලබා දෙනවා) එලෙස අපේ කාඩ්පතෙන් ඔවුන්ගෙ ගිණුමට මුදලක් බැරකර ගැනීමේදී PayPal code නම් කේතයක් අපේ බැංකු ප්‍රකාශනයෙ (bank statement එකේ) සටහන් වෙනවා. මෙන්න මේ විදියට සටහන් වන PayPal code එක නැවත අපි PayPal වෙත ලබා දුන් විට ඔවුන් මෙම කාඩ්පත අපේම බව තහවුරු කරගන්නවා. ඔන්න ඕකයි සිද්ධිය.

    දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියලා.


    1. ඉහතදි Add Card යන්න එබූ පසු දිස්වන මෙන්න මේ කවුළුවෙන් Save & Continue යන්න ඔබන්න. (මෙලෙස කළ පසු ඔබේ කාඩ්පතෙන් $ 1.95 ක මුදලක් ඔවුන් කපා ගන්නවා)

    රූපය ගත්තෙ මෙතනින්

    2. මීළඟට දිස්වන මෙන්න මේ කවුළුවෙන් අපූරුවට දිස්වෙනවා අපි දැනට කරලා තියෙන දෑ සහ අපි මීළඟට කරන්න ඕනා දෑ.

    රූපය ගත්තෙ මෙතනින්

    ඔවුන් අපිට කියනවා මීළඟට අපේ බැංකු ප්‍රකාශනය පරීක්‍ෂා කරලා PayPal code එක ලබාදෙන්න කියලා. නමුත් අපේ මේ සම්පත් Webcard එක සඳහා අපිට මුද්‍රිත බැංකු ප්‍රකාශනයක් ලබාගැනීමේ පහසුකම හිමිවෙන්නෙ නෑ. එහෙනං කොහොමද PayPal code එක හොයාගන්නෙ?  හරිම ලේසියි. ඔබට කරන්න තියෙන්නෙ 0112300604 යන අංකයෙන් සම්පත් card center ඇමතීම පමණයි.  Card Center අමතලා ඔබ කියන්න ඔබට ඔබේ Webcard එකේ PayPal code එක ලබාදෙන්න කියලා. එවිට ඔවුන් ඔබෙන් ඔබේ Webcard අංකය ලබාගෙන ඔබට PayPal code එක ලබා දේවි.


    3. එලෙස ලබාගත් අංක හතරකින් යුත් එම PayPal code එක ඔබ ඉහත කවුළුවෙදි Continue යන්න එබූ පසු දිස්වන පහත කවුළුවෙදි ඇතුලත් කරන්න.

    රූපය ගත්තෙ මෙතනින්

    මේ කවුළුවෙදි Resend PayPal code යන්න එබුවොත් නැවත වරක් ඔබෙන් $1.95ක මුදලක් කැපෙනවා. ඒ නිසා වැරදිලාවත් ඒක ඔබන්න එපා. (එබුනත් අවුලක් නෑ ඉතිං, ආයෙත් ඒ මුදල කොහොමත් ඔබට ලැබෙනවා ) ඉහත කවුළුවෙදි PayPal code එක ඇතුල් කර Submit යන්න එබූ පසු ඔබේ Webcard එක ඔබේම බව තහවුරු වී ඇති බව ඔබට දිස් වේවි.

    සුභපැතුම්! දැන් ඔබට ඔබේ PayPal ගිණුම භාවිතා කර eBay ගණුදෙනු කරන්න පුළුවන්. 


    ඔන්න එහෙනම් අද කුප්පියත් අවසානයි. අද සාකච්ඡා කෙරුණු කරුණු ගැන ප්‍රශ්න එහෙම තියෙනවනම් අහන්න. ඔබේ අත්දැකීම් බෙදාගන්න. මං මේ ලියන ලිපි සම්පූර්ණ වෙන්නෙ ඔබේ අදහසුත් එකතු උනාමයි. ඒ නිසා ඔබේ අදහස් ලියලා යන්න පසුබට වෙන්න එපා.

    ඔබ eBay වෙතින් භාණ්ඩ ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ ඔබට අවශ්‍ය භාණ්ඩයක් eBay තුළ පහසුවෙන් සොයා ගන්න අයුරුත් ඊළඟ ලිපියෙන් ලියන්නම්. ඒ ලිපිය ලියන කල් ඉන්න බැරි අයට පුංචි ඔවදනක් හැටියට කියන්නෙ. මුලින්ම ඔබ ලොකු ලොකු වටිනාකමින් යුත් භාණ්ඩ ගන්න එපා. මුලින් මුලින් රු.500කට 1000කට අඩු භාණ්ඩ කීපයක් ගන්න. ඒවා ඔබ වෙත සුරක්‍ෂිතව ලැබුණම ඔබට තවත් මේ eBay ගණුදෙනු ගැන විශ්වාසය ගොඩනැගේවි. යම් යම් දෑ සිද්ධ වෙන ආකාරය ගැන අවබෝධයකුත් ලැබේවි. ඉන්පසු ඔබට ලොකු ලොකු භාණ්ඩ වලට යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඔබ ගන්න හදන භාණ්ඩයක් ගැන මොනම හෝ ගැටළුවක් තියෙනවා නම් ගන්න කලින් sellerව contact කරලා අවැසි හැම දේම දැනගන්න. හැමදේම ගන්න කලින් සහ pay කරන්න කලින් දෙපාරක් හිතන්න.

    එහෙනම් eBay සමඟ සුරක්‍ෂිතව ගණුදෙනු කරන්න ඔබට සුභ පැතුම්! ලිපිය ප්‍රයෝජනවත් උනානම් ඒ ගැන ලියලා යන්නත් ඔබේ අත්දැකීම් බෙදාගන්නත් අමතක කරන්න එපා. 

    එහෙනම් ජයවේවා
    !


    ලංකාවෙ අපිට eBay ගණුදෙනු කළ හැකි පහසුම මග -

    ලිපි මාලා අංක 20


    පසුගිය ලිපියෙන් පටන් ගත්ත eBay කුප්පි මාලාවට ලැබෙන ප්‍රතිචාර ගැන නම් බොහොම සතුටුයි. ඒ ප්‍රතිචාර එකතු කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ ලිපියෙ ප්‍රතිචාර‍යකින් ලෝහිත කියලා අපේ සොයුරෙක් කියලා තිබ්බා ඔහු eBay වෙතින් ගෙන්වපු කිලෝ 4.5ක් පමණ බර mini air compressor එකකුත් කිසි අවුලක් නැතුව තැපැල් කාර්යාලයට ආවා කියලා. ඒ පිළිබඳ තැපැල් කාර්යාලයෙන් ඔහුව දැනුවත් කළාම ඔහු තැපැල් කාර්යාලයට ගිහින් ඒ භාණ්ඩය නිදහස් කරගෙන තියෙනවා විනාඩි 5ක් වගේ ඇතුලත. ඉතිං මේකත් අපි හැමෝන්ටම සුභ ආරංචියක් වේවි. මමත් ටිකක් දෙගිඩියාවෙන් හිටියෙ eBay එකෙන් ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ ගෙන්වන්න. ඒත් දැන් ඒ ගැනත් බයවෙන්න දෙයක් නෑ වගේ. අපිත් එක්ක ඔහුගෙ අත්දැකීම බෙදාගෙන අපිව දැනුවත් කරවපු ඒ සොයුරටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ. 

    කලින් ලිපියෙදි අපි දැනගත්තනෙ eBay ගැන මූලික තොරතුරු ටිකක්. එදා අපි eBay කුප්පි #1 නැවැත්තුවෙ ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරන්න යන දේ ගැන පුංචි ඉඟයකුත් දීලා. ඒ තමයි ජොබ්ඇති ජොබ්නැති අපි හැමෝටම ශ්‍රී ලංකාව තුළ ලේසියෙන්ම ලබාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ ගණුදෙනු කළ හැකි VISA කාඩ්පත වන සම්පත් Webcard ගැන තොරතුරු සහ එය PayPal වෙත link කිරීම පිළිබඳ තොරතුරු අරං එන්න පොරොන්දු වෙලා තමයි එදා කුප්පිය නැවැත්තුවෙ. ඉතිං ඔන්න අද ඒ පොරොන්දුව බොහෝ දුරට ඉෂ්ට කරන්නයි යන්නෙ.

    මං එදා කිව්වනෙ අපිට eBay ගණුදෙනු කරන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා. eBay ගිණුමක්, PayPal ගිණුමක් සහ අන්තර්ජාලීය ගණුදෙනු කළ හැකි කාඩ්පතක්. ඉතිං මං හිතනවා දැන් හැමෝම eBay සහ PayPal ගිණුම් හදාගෙන ඇති කියලා. (ඒ සම්බන්ධව කුමක් හෝ ගැටළුවක් තියෙනවනම් අහන්න පසුබට වෙන්න එපා.) අද මං කියන්න හදන්නෙ අපිට අත්‍යවශ්‍ය තෙවෙනි කාරණය ගැන.
    දන්නවනෙ අද හැම බැංකුවකම වගේ ATM කාඩ්පත් සේවය තියෙනවා. Credit card, Debit card වගේ එක එක විදියෙ සේවා සඳහා මෙම කාඩ්පත් භාවිතා වෙනවා. අන්තර්ජාතිකව ගණුදෙනු කළ හැකි Visa, Master Card සහ American Express යන ප්‍රවර්ග යටතටත් මේ කාඩ්පත් වර්ගීකරණය වෙනවා. මෙවැනි ඕනෑම කාඩ්පතකින් අන්තර්ජාතික ගණුදෙනු කිරීමේ හැකියාව තිබුණත් මේ හැම කාඩ්පතකින්ම අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේ හැකියාවක් නෑ. එම හැකියාව ඇත්තෙ මෙම කාඩ්පත් වලින් කීපයකට පමණයි.

    අනිත් කාරණේ තමයි සාමාන්‍ය Credit හෝ Debit කාඩ්පතක් හෝ ලබාගන්න තමන්ගෙ ආදයම් වාර්තා බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතිං ඕක රැකියාවල නිරත වෙන අයට නම් ගැටළුවක් නොවුනට තවම රැකියා නොකරන අපි වගේ අයට නම් ලොකු ගැටළුවක්. මේ හැම ගැටළුවකටම එකම විසඳුම තමයි සම්පත් බැංකුව මගින් ලබාදෙන සම්පත් Webcard. 



    මේ තියෙන්නෙ මගේ සම්පත් Webcard එක

    මං හිතන්නෙ ගොඩක් අය මේ සම්පත් Webcard එක ගැන දන්නෙ නෑ. ඉතිං මේ ගැන මුකුත්ම නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි මුලින්ම මේ සම්පත් Webcard ගැන පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා ඉමු. [මේවට තමයි කියන්නෙ නිති අසන පැණ (FAQ) කියලා. ]



    සම්පත් Webcard කියන්නෙ මොකක්ද?
    • සම්පත් Webcard කියන්නෙ අන්තර්ජාලීය මුදල් ගණුදෙනු සඳහාම කැපවුනු top up කළ හැකි පෙර ගෙවුම් VISA කාඩ්පතක්. පෙරගෙවුම් කාඩ්පතක් නිසා අන්තර්ජාලීය ගණුදෙනු කිරීමේදී ඇතිවන අවදානම අඩුයි.


          මෙය ලබාගන්න පුළුවන් කාටද?
          • අවු.18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික‍ පුරවැසියෙකුට මෙය ලබාගන්න පුළුවන්. (පෙරගෙවුම් කාඩ්පතක් නිසා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍යයත් නෑ.)

          කාඩ්පත ලබාගැනීමේදී එහි තිබෙන ආරම්භක ශේෂය කුමක්ද?
          • රු.2500, 5000, 7500 හෝ 10000 ක ආරම්භක ශේෂයන්ගෙන් යුතු කාඩ්පත් ලබාගන්න පුළුවන්.


           කාඩ්පත ලබාගැනීමට සම්පත් බැංකුවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍යද?
          • අත්‍යවශ්‍ය නෑ


          කාඩ්පත ලබාගැනීමේදී ගෙවිය යුතු ගාස්තු මොනවාද?
          • සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් රු.100ක් හෝ සම්පත් බැංකුවෙ ගිණුමක් නැත්නම් රු.200ක් වර්ෂ 2ක් සඳහා කාඩ්පත් ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවෙනවා.


          අඩුම මුදලකින් මෙය ලබාගැනීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද?
          • සම්පත් ගිණුම් හිමියෙක් නම් රු.2600 යි. (2500+100)
          • සම්පත් ගිණුම් හිමියෙක් නොවේ නම් රු.2700 යි. (2500+200)


          ශේෂය අඩුවෙන කොට කාඩ්පත top up කරන්නෙ කොහොමද?
          • ක්‍රම දෙකකින් පුළුවන්. ඔබට සම්පත් බැංකුවෙ ගිණුමක් තියෙනවානම් ඒ ගිණුමේ සිට කාඩ්පතට මුදල් හුවමාරුවක් කරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය මුදල් තැම්පතුවක් කිරීම මගින් top up කරගන්න පුළුවන්.

          Top up කළ හැකි අවම මුදල කොපමණද?
          • එහෙම අවුලක් නෑ. කැමති ගාණක් top up කරන්න පුළුවන්.

          මෙමගින් ගෙවීම් කළ හැක්කෙ eBay ගණුදෙනු සඳහා පමණද?
          • නෑ. මෙමගින් අන්තර්ජාලය තුළ ඕනෑම මුදල් ගණුදෙනුවක් කරන්න පුළුවන්. (හැබැයි සාමාන්‍ය credit/debit card පතකින් කරන ගණුදෙනු කරන්න බෑ.)


          කාඩ්පතින් ගණුදෙනු කළ පසු එහි ශේෂය දැනගන්නෙ කොහොමද?
          • 0112300604 යන අංකයෙන් Sampath Card Centre ඇමතීමෙන් ඕනෑම වෙලාවක ඔබට ශේෂය විමසා දැනගන්න පුළුවන්.

          කාඩ්පතට අයදුම් කරන්නෙ කොහොමද?
          • ඕනෑම සම්පත් බැංකු ශාකාවකට ගොස් සම්පත් Webcard සඳහා වන අයදුම් පත්‍රය පුරවා මුදල් සමඟ භාරදීමෙන් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. (අයදුම් පත්‍රය මෙතැනින් බාගැනීමටද පුළුවන්)


          කාඩ්පත ලැබෙන්න කොපමණ කල් යනවද?
          • කාඩ්පත ඔබේ ලිපිනයට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සති 2ක් පමණ කල් ගතවෙන්න පුළුවන්. කාඩ්පත ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වාගැනීමට අයදුම් කළහොත් සතියකින් වගේ ගෙන්වාගන්න පුළුවන්.

          වඩා පහසු කාඩ්පත පෞද්ගලික ලිපිනයට ගෙන්වා ගැනීමද? ලඟම ඇති බැංකු ශාකාවට ගෙන්වා ගැනීමද?
          • ලඟම ඇති බැංකු ශාඛාවට ගෙන්වා ගැනීම පහසුයි. මොකද මේ කාඩ්පත සමඟ එන ලියවිල්ල අත්සන් කරලා නැවත අපි card centre එක වෙත යැවිය යුතුයි. කාඩ්පත සක්‍රීය කරන්නෙ එවිටයි. කාඩ්පත ගෙදරට ගෙන්වා ගත්තොත් එම ලියවිල්ල අත්සන් කරලා අපිටම නැවත තැපැල් කරන්න වෙනවා. නමුත් බැංකු ශාකාවට ගෙන්වා ගත්තොත් බැංකුව අපෙන් අත්සන අරගෙන එම ලියවිල්ල ඔවුන් විසින් card centre එක වෙත යවනවා. එය වඩා පහසුයි.


          Webcard එක ලැබුණු පසු එය PayPal ගිණුමට link කරන්නෙ කොහොමද?
          • >>(ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)


          අනේ තරහාවෙන්න එපා. අද ලිපිය හිතුවට වඩා දිග වැඩි උනා. Webcard එක PayPal එකට link කරන විදිය screen shots ටිකක් එකකම ටිකක් සවිස්තරාත්මකව කියන්න ඕනෙ. ඉතිං ඒක ඊළඟ ලිපියෙන්ම කියන්නම්. කොහොමත් දැන් webcard එකට apply කරාම ඕක එන්න අඩුමගානෙ සතියක්වත් යනවනෙ. ඊට කලින් මං link කරන විදිය ගැන ලිපිය පළ කරන්නම්. එහෙනම් ඔන්න සඳුදා උදෙන්ම ළඟම තියෙන සම්පත් බැංකුවට දුවලා ගිහින් Webcard form එකක් ඉල්ලගෙන පුරවලා සල්ලිත් එක්ක බාරදෙන්න. 

          එහෙනම් ඔන්න අදට eBay කුප්පිය අවසානයි. අද සාකච්ඡා කරපු දේවල් ගැන මුකුත් ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න. ලිපිය ප්‍රයෝජනවත් උනානම්......  දන්නවනෙ ඉතිං කරන්න ඕන දේ? 



          eBay කියන්නෙ මොකක්ද?

          ලිපි මාලා අංක 18                           


          කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා.  ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර.




          දැන් ටිකක් බය නැති උණාද?  මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර fake pen එකේ විතරයි. නමුත් ඒකටත් මට full refund එකක් ලබාගන්න පුළුවන් උනා. ඒ කියන්නෙ eBay එකෙන් ගණුදෙනු කළා කියලා මට අද වෙනකල් සත පහකවත් පාඩුවක් උනේ නෑ. ඔන්න දැන් හරිනෙ. දැන් බය නෑනෙ පොඩ්ඩක්වත්.  එහෙනම් කුප්පිය පටන්ගමු.

          කලින් ලිපියෙ ප්‍රතිචාර වලදි කියලා තිබුණා හැම තරාතිරමකම අය බ්ලොග් කියවන හින්දා නොදන්නා අයටත් ගැළපෙන විදියට පියවරෙන් පියවර මේ ලිපි පෙළ ලියන්න කියලා. ඉතිං eBay ගැන මුකුත්ම නොදන්න අයට දැනගන්නත් එක්ක මුලින්ම අපි අද පුංචි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු.


          eBay කියන්නෙ මොකක්ද?
          • eBay කියන්නෙ හරියට ගෝලීය පොළක් වගේ. පොළක කව්ද ඉන්නෙ? භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.

          eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
          • විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.

          eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
          • eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.

          eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
          • සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.

          eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
          • ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.

          eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
          • ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.

          eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
          • eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.
          PayPal කියන්නෙ මොකක්ද?
          • PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි.

          සාරාංශයක් වශයෙන් eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න සපුරාලියයුතු අවශ්‍යතා මොනවද?
          1. eBay ගිණුමක් තිබිය යුතුයි.
          2. PayPal ගිණුමක් ගිණුමක් තිබිය යුතුයි.
          3. අන්තර්ජාලය තුල ගෙවීම් කළ හැකි Visa, Master Card හෝ American Express කාඩ්පතක් තිබිය යුතුයි. (කාඩ් එකේ සල්ලි තිබිය යුතුයි. )

          අදට eBay කුප්පිය අවසානයි. දැනට ඔබ eBay සහ PayPal තුළ sign up වෙලා අලුත් ගිණුම් හදාගෙන පුංචි පුංචි අතහදාබැලීම් ටිකක් කරන්න. මෙතෙක් සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මීට අමතරව දැනගත යුතු තවත් මූලිකම දේවල් තියෙනවා නම් ඒවත් අහන්න. එතකොට මං ඒ ප්‍රශ්නත් ඇතුළු කරලා මේ ලිපිය යාවත්කාලීන කරන්නම්. ලිපිය ප්‍රයෝජනවත් උනානම් ඒ ගැන සටහනක් තබලා යන්නත් අමතක කරන්න එපා. 

          ඉතිරිය කියවන්න >> ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 http://dhanikauom.blogspot.com/2010/02/ebay-paypal-ebay-1.html#more#ixzz1TtGOJGqr
          Under Creative Commons License: Attribution Non-Commercial